නාමල්ගෙන් CIDයට පැය 2ක ප්‍රකාශයක්...

මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් CIDයට පැය 2 ක ප්‍රකාශයක්...

by Hashini De Mel 24-10-2024 | 8:16 PM

COLOMBO ( News 1st ) - මලයාසියානු ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ගත් බවට යහපාලන ආණ්ඩුව සමයේ ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලක වැඩිදුර විභාගයට අදාලව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අද ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.

2011 - 12 කාලසීමාවේ මලයාසියානු ව්‍යාපාරිකයෙකු ඩොලර් මිලියන 100 ක මුදලක් මෙරට මන්ත්‍රීවරුන්ට ලබාදී ඇතැයි කියන සිද්ධියක් මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකර තිබු⁣ණේ යහපාලන ආණ්ඩුව සමයේ ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුවයි.

එම විමර්ශනයට අදාළව අද(24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතාගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා

" අද නම් එන්න කියලා තියෙන්නේ 2010 /15 කාලසීමාවේ මගේ කාර්යාලට ඇවිල්ලා සල්ලි තියලා ගිහිල්ලලු එක මහත්තයෙක්  කියලා තියෙනවා. නිර්නාමික පැමිණිල්ලක්. ඉතින් නිර්නාමික පැමිණිල්ලට අනුව මුදල් ඇවිල්ලා මගේ කාර්යාල තියලා ගිහිල්ලා. ඒ පිළිබඳ මගෙන් අහනවා.මම ගෞරවයෙන් ඉල්ලනවා අපිව පාවිච්චි කරලා අපිට මඩ ගහලා අපේ පොලිසියට ගෙනල්ලා අපිව  හිර කරන තැනට ගෙනල්ලා මේ රටේ ජනතාවගේ මනස වෙන පැත්තකට හරවලා ජනතාවට වෙච්ච පොරොන්දු වලින් බැහැර වෙන්න එපා."

ප්‍රශ්නය - දැන් මේ නීතිය ක්‍රියාත්මක වීමක් නොවෙයි කියලද කියන්නෙ? පලිගැනීමක් කියලද ඔබතුමාලා කියන්නෙ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා

" ඒ පිළිබඳව බලන්න ඕනේ මේ ආණ්ඩු හැසිරෙන විදියට.මේ මැතිවරණයක් අස්සේ 2010/15 කාලසීමාවේ කාමරක නිර්ණාමිකව පැමිනිල්ලකට  නිර්ණාමික පැමිණිල්ලකට ඇවිල්ලා මුදල් දුන්නා කියලා මැතිවරණයක් ඇතුලේ ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියන කාරණය පිළිබදව  අපි මීට වඩා කල්පනා කරන්න ඕනේ. හැබැයි ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ආණ්ඩුවට වැඩක් තියෙන්නත් එපැයි."

ප්‍රශ්නය - යහපාලනේ ආණ්ඩුවේ වෙච්චදේම වෙනවා වගේද පේන්නෙ මේ යන විදිය?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා - 

වෙනසක් නම් පේන්නේ නෑ මොකද ඒ කාලේ එන්න කියපුවටම තමයි තවම ප්‍රශ්න කරන්නේ මේ.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා කිව්වා හොරු අල්ලනවා හැබැයි කෙඳිරිගාන්න නම් එපා කියලා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා -

ඒකනේ කෙඳිරි ගාන්නෙ නැතුව ආවේ. මම කෙඳිරි ගන්නෙ නැතුව ආවේ ජනාධිපතිතුමාගේ වචනය අහක දාන්න බැරි නිසා.