පාස්කු ප්‍රහාරය: රනිල්ගෙන් ලිපියක්...

පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර නොගත යුතුයි - හිටපු ජනපති රනිල් ලිපියකින් අවධාරණය කරයි...

by Hashini De Mel 24-10-2024 | 10:52 PM

COLOMBO ( News 1st ) - පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට තමන් කමිටු පත් කළේ ‍රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළි ගැනීමට හෝ ඔවුන් පිලිබඳව විභාග කිරීමට නොවන බවයි.

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතු බවට ශිර්ෂයෙන් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ හෙළිදරව්ව පිළිබදව කරුණු සොයා බැලීමට කමිටු දෙකක් පත් කළ බවයි .

එම කමිටුවලට පත් කිසිවෙකුත් තමන් පෞද්ගලිකව නොහඳුනන බවත් , එම කමිටු සදහා නිතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් පවසයි.

අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාතයංශයේ ලේකම් රවී සෙනෙවිරත්න , අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීමට හෝ විභාග කිරීමට සකස් කළ වාර්තාවක් නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර , නන්දන මුණසිංහ , ලලිත් පතිනායක , අබ්දුල් ලතීෆ් , රවී සෙනෙවිරත්න , දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන්ට නීත්‍යානූකූලව පියවර ගන්නා ලෙස අල්විස් කමිටු වාර්තාවෙන් නිර්දේශ ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් අනාවරණය වේ.

එබැවින් මෙම වාර්තාව රවී සෙනෙවිරත්න සහ ශාණි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ වන විට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම පාස්කු වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ තමන් අතට ලැබුනු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈදා ගැනීමට ඇති අතමැත්ත හේතුවෙන් එම වාර්තා ප්‍රසිද්ධි පත් නොකළ බවයි.

කාදිනල් හිමියන් තමන් සම්බන්ධව සිදුකල සියළු ප්‍රකාශ පදනම් විරහිත බවත් පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකල යුත්තේ රදගුරු සම්මේලනය බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ පාස්කු වාර්තා ගෙනැහර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බවයි.