ආරුගම්බේ අනතුරු ඇඟවීම: සැක 3ක් කොටු...

ආරුගම්බේ යම් සිද්ධියක් ඇති කිරීමට සැලසුම් කලාදැයි සැකපිට තුන්දෙනෙකු අත්අඩංගුවට...

by Staff writer 24-10-2024 | 8:10 PM

COLOMBO ( News 1st ) - විදේශීය සංචාරකයින්ගේත් රටේ ජනතාවගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද(24) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ය.

ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් ඇතැයි විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි අමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ(23) පෙරවරුවේ ආරක්ෂක උපදේශයක් නිකුත් කළේ ය.

එම උපදේශය අනුව යමින් ඊශ්‍රායලය, බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවත් උපදෙස් නිකුත් කර තිබුණි.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ආරුගම්බේ ඇතුළු ඊශ්‍රායල් ජාතිකයින් වැඩි වශයෙන් රැදී සිටින ස්ථානවල ආරක්ෂාව තර කිරීම සදහා සති කිහිපයක සිට පියවර ගෙන තිබූ බවයි.

ආරුගම්බේ ප්‍රදේශයේ කිසියම් කැළඹිලි තත්ත්වයක් ඇති කිරීමේ උත්සාහයක් ඇතැයි ලැබී තිබූ තොරතුරකට අනුව ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාසයක කාලය තුළ අවස්ථා ගණනාවක රැස්වූ ආරක්ෂක මණ්ඩලය ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා

"අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. 

ඒ මාසය තුළ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කිහිපයක්ම රැස්වුණා.

ඒ පළමුවන දෙවන ආරක්ෂක කවුන්සිල් රැස්වීම්වලටම මේ තොරතුරු බුද්ධි අංශ වලින් වාර්තා කරා.
ඒ අනුව අපි ඒ තොරතුරු ලැබුණු වහාම විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථාන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශය, මාතර වැලිගම ඒ වගේම අහුංගල්ල වෙරළ තීරයේ සංචාරකයන් ගැවසෙන ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදෙව්වා.
ඒ පොලිස් ආරක්ෂාව අපි යොදවන්න මේ මාසේ මුල ඉඳලම කටයුතු කරලා තියෙනවා.
ආරක්ෂක මණ්ඩලය තුළ මේ පිළිබඳ තොරතුරු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරා. ඒ වගේම බුද්ධි අංශත් පොලීසියත් මගින් ඒ පරීක්ෂණ කටයුතුත් ආරම්භ කරා.
ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා සැකපිට මේ තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා.
ඒ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරමින් තියෙනවා. යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයක් ඇති කරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අයගේ සම්බන්ධයක් තියෙනවද, උත්සාහයක් තියෙනවද කියන එක.
ඒ අතර වාරයේ දී මේ විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉතාම ශක්තිමත්ව අරගෙන තියෙනවා.
මීට දිනයකට පෙර ඒ කියන්නේ පෙරේදා හවස් වෙනකොට විදේශ බුද්ධි අංශ මගින් ලැබිච්ච තොරතුරුත් එක්ක පෙරේදා රාත්‍රියේ ම ජනාධිපතිතුමත් ඒ වගේම පොලිස්පතිතුමා, මම, අගමැතිතුමිය අපි කීපදෙනා ඒ විමර්ශන කරන ප්‍රධාන අයත් එක්ක සාකච්ඡා පැවැත්තුවා.
ඒ සාකච්ඡා පවත්වලා පෙරේදා රාත්‍රියේම තවත් ආරක්ෂක පියවරයන් ශක්තිමත් කරා.
එත් එක්කම ඊයේ උදේම උදේ පාන්දර හතට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමියත්, මමත්, ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාම සම්බන්ධ වෙච්ච විශේෂ ආරක්ෂක කවුන්සිලයක් කැඳෙව්වා. ඒ ආරක්ෂක කවුන්සිලේනුත් අපි තීන්දු තීරණ ගණනාවක් ගත්තා.
ත්‍රිවිධ හමුදාවත් මේ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්න අපි මුල සිටම පියවර ගත්තා.ඇත්තටම මෙතන විශේෂ තත්ත්වයක් මතු වුණේ ඊශ්‍රායල ජාතිකයන් ලංකාවේ සංචාරකයෝ විදිහට ඉන්නවා.
ඉතින් මේ මාසේ කියලා කියන්නේ මැද පෙරදිග ඒ යුධ වාතාවරණය ඇතිවෙලා අවුරුද්දක් පිරෙන මාසයක්, ඒ වගේම ඊශ්‍රායල ජාතිකයන් තමන්ගේ යම් යම් ආගමික උත්සවයන් පවත්වන කාලයක් වෙලා තියෙනවා.
මේ සංචාරකයෝ විදිහට පැමිණිච්ච අයත් කාලයක් තිස්සේ ලංකාවේ ඉන්න සුළු ප්‍රමාණයක් වෙච්ච ඊශ්‍රායල ජාතිකයන් ප්‍රමාණයකුත් ඉන්නවා.
ඒ අයගේ පැත්තෙන් යම් ආගමික කටයුතු සංවිධානය කරනවා. යම් යම් තැන් වලට ඒකරාශී වෙනවා.
ඒ ඒකරාශී වෙච්ච තැන්වලට යම් කැලඹිලිකාරී තත්ත්වයක් ඇති කරනවා කියන සැකය තමයි ඇත්තටම අනාවරණය වුණේ.
ඉතිං ඒ සැකයක් එක්ක තමයි අපි ක්‍රියාමාර්ග ගත්තේ.
ඒ නිසා දැනට ඒ සියලුම ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. "

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් කල් ඇතිව සිදුකල බව අමාත්‍යවරයා මේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා

"අපි රාජ්‍යතන්ත්‍රික වශයෙනුත් මේ පිළිබඳ මැදිහත්වීම් කරා.ඇමරිකානු තානාපතිවරිය මගින් අපි සාකච්ඡා කරා.
ඒ වගේම අනිකුත් යම් යම් තානාපතිවරුන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අයත් එකත් මේ පණිවිඩ අපි හුවමාරු කරගෙන තියෙනවා.
මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා කියලා කල් ඇතුව අපි ජනතාව දැනුවත් කළේ, නැහැ.මොකද මේ ලැබෙන තොරතුරු පැහැදිලිව විශ්වාසනීය තහවුරු කරගත්ත තොරතුරු වෙන්න ඕන.
ඒ කරුණු තහවුරු වන තෙක් අපිට ජනතාව දැනුවත් කිරීමේ උවමනාවක් මතු වුණේ නැහැ.
මොකද ආරක්ෂක පියවරයන් අපි අරන් තියෙන නිසා. ඉතින් ආරක්ෂක පියවරයන් අරන් නැතුව අපි ප්‍රමාද වුණානන් තමයි ඒ ප්‍රශ්න තියෙන්නේ.
රජයටත්, විශේෂයෙන් පොලිසිය විදිහටත්, ආරක්ෂක අංශ විදිහටත් විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි මේ වෙනකොට අරන් තියෙනවා.
ඒ නිසා අපි විශේෂයෙන්ම සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා කිසිදු ආකාරයක බිය ගැන්වීමක් ඇති විය යුතු නැහැ."