දුමින්ද ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

දුමින්ද , ස්ටාර්ලින් ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

by Staff writer 02-10-2023 | 12:10 PM

COLOMBO (News 1st) -  දුමින්ද නාගමුව, ජොසෆ් ස්ටාර්ලින්, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසකට අද කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. 

ඒ, කොටුව පොලිස්ථානාධිපතිවරයා අධිකරණයට පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි. 

මේ අනුව අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාර්ලින්, ඇතුළු 8 දෙනෙකුට හා ඔවුන් සමග පැමිණෙන අයට අද පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් වනු ඇති.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ වටරවුම,  එන්එස්ඒ වටරවුමේ සිට බාලදක්ෂ මාවත, එම ප්‍රදේශයි.

මෙම ප්‍රදේශවලට ඇතුලුවීමෙන් වලකින ලෙසත් පොදු හා පෞද්ගලික දේපලවලට හානි නොකරන ලෙසටත් මහජනතාව ප්‍රකෝපවිය හැකි ප්‍රචණ්ඩකාරි සිදුවීම් නොකරන ලෙසටත් අදාළ නියෝගයේ සඳහන් ය.