ඊශ්‍රායල හමුදාවේ නොමනා ක්‍රියාව..

ජාත්‍යන්තරය හමුවේ හෙළා දැකීමකට ලක් වූ ඊශ්‍රායල හමුදාවේ නොමනා ක්‍රියාව..

by Staff writer 23-06-2024 | 8:13 AM

COLOMBO (News 1st) - ඊශ්‍රායල හමුදා භටයින් පිරිසක්, පලස්තීන ජාතිකයෙකු හමුදා රථයක ඉදිරිපස ගැට ගසා ගෙන යාමේ සිදුවීමක් ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකු, ඊශ්‍රායල හමුදා ජීප් රථයක ඉදිරිපස කොටසේ ගැට ගසා තිබියදී එම රථය ධාවනය වන ආකාරයයි.

ඊයේ (22) පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනීන් නගරයේදී වාර්තා වූ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේ ය.

අදාළ වීඩියෝ පටයේ දැක්වෙන ඊශ්‍රායල හමුදා භටයින්ගේ හැසිරීම, සමස්ත ඊශ්‍රායල හමුදාවේ ප්‍රතිපත්තිවලට නොගැලපෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

ජෙනීන් හි පැවති ගැටුමක් අතරතුර අදාළ පලස්තීන ජාතිකයා තුවාල ලබා තිබිණි.

ඔහුගේ පවුලේ ඥාතීන් ඔහු රෝහලකට රැගෙන යන ලෙස කළ ඉල්ලීමකට අනුව සිය රථයේ ඉදිරිපස ගැට ගසා ගෙන ගිය බව, ඊශ්‍රායල හමුදාව පවසයි.