එක්දින තරගාවලියේ ජය එංගලන්ත U19න් පිලට

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය එංගලන්ත 19න් පහළ කණ්ඩායමට

by Staff writer 04-07-2024 | 9:30 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය. 

ඒ , තරගාවලියේ තුන්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 4කින් ජය ගනිමිනි. 

මෙම තරගය එංගලන්තයේ කවුන්ටි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ පන්දුවාර සංඛ්‍යාව 45කට සීමා විය. 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් චාලි ඇලිසන් ලකුණු 87කි. 

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ලූක් බෙන්කන්ස්ටයින් ශතකයක් රැස් කළේ ය. 

විහස් තෙව්මික කඩුලු 4ක් දවා ගත් අතර නායක දිනුර කළුපහන කඩුලු 3ක් දවා ගත්තේය. 

ඒ අනුව, එංගලන්ත 19න් පහළ කණ්ඩායම පන්දුවාර 45 තුල කඩුලු 9ක් දැවී ලකුණු 268ක් ලබා ගැනීමට සමත් විය. 

ඒ අනුව , ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 45 තුළ හිමිවූ ඉලක්කය ලකුණු 265කි. 

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ගයන වීරසිංහ ලකුණු 80ක් ලබා ගත්තේය. 

මහිත් පෙරේරා ලකුණු 53ක් රැස් කළේ ය. 

පන්දුවාර 44යි පන්දු 4ක් තුළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 260කට දැවී ගියහ. 

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස එංගලන්ත 19න් පහළ කණ්ඩායම ජය ගත්තේ ය.