අධිකරණ ඇමතිගේ ප්‍රශ්නයට ලැබුණු උත්තර

අධිකරණය ගැන ඇමති විජයදාසගේ වරප්‍රසාද ප්‍රශ්ණයට අගවිනිසුරුගෙන් හා අධිකරණ සේවා කොමිසමෙන් ප්‍රතිචාර.....

by Staff writer 09-07-2024 | 5:56 PM

COLOMBO (News 1st) - මන්ත්‍රී වරප්‍රසාද හා බලතල හැර අනෙකුත් සියලුම කාරණාවලට අදාළව මහජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම අධිකරණය වෙත පැවරී ඇතැයි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට දැනුම්දී තිබේ.

අගවිනිසුරුවරයා මේ දැනුම්දීම කර ඇත්තේ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණයේ ඇතැම් කටයුතු හේතුවෙන් සිය මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇතැයි පාර්ලිමේන්තුවේ හා කථානායවරයාට ලිපියක් යවමින් පෙන්වාදී ඇති කරුණුවලට අදාළවයි.

ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා භාවිත කරන අතර පාර්ලිමේන්තුව විසින් සෘජුවම එම බලය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් පමණක් කටයුතු කිරීමට සීමාකර ඇතැයි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දෙයි.

කථානාකවරයා වෙත යොමුකළ  ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ මහජනතාවගේ අධිකරණබලය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතික කොට කටයුතු කිරීම සියලුම අංශයන්හි වගකීම හා කාර්යය භාරය බවයි.

උපුටා ගැනීම
.....අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද සකල ලෝක වාසීන්ගේද අභිමානය සහ සමෘද්ධිය සහතික කරන අස්පර්ශනීය උරුමයක් ලෙස පිළිගෙන එය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද බවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව ඇත.....

පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ කටයුතු එකිනෙකා කෙරෙහි දක්වන්නාවූ නිසි ගෞරවයකින් යුක්තව සංයමයෙන් සිදුකිරීම පොදු මහජනතාවගේ සුභසිද්ධිය මෙන්ම නීතියෙහි ආධිපත්‍යය සුරැකීම සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බව අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

පසුගිය ජුනි මස 19 වනදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයට අදාළව කරුණු කිහිපයක් මතු කළේ ය.

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු නියෝගය ව්‍යවස්ථාවේ කොටසක් පැවසුවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව කොළඹ දිසා අධිකරණය දුන් අතුරු නියෝග පිළිබඳවද අදහස් පලකළ අතර අධිකරණ කිහිපයක සිදුවීම් පිළිබඳවත් එහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

මීට අමතරව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළ කථාවේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ වත්මන් ලේකම්වරයාගේ ක්‍රියාකලාපයද දැඩි ලෙස විවේචනය බඳුන් විය.

ඇමතිවරයා කළ ප්‍රකාශයට අදාළව දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්ගේ වෘත්තීය සංවිධානය වන අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූයේ පසුගිය ජුනි 24 වන දිනයි.

අධිකරණ පද්ධතිය නිර්දය විවේචනයට ලක්කරමින් ඉදිරිපත් කළ වගකීම් විරහිත ප්‍රකාශයන් පිළිබඳව තම සංගමයේ දැඩි අවධානය යොමුවී ඇති බව එහි සඳහන්කර තිබිණි.

එම නිවේදනයෙන් සංගමය පෙන්වාදී තිබුනේ, අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීම සඳහාවූ නිශ්චිත ව්‍යපෘතියක් කොටස් වශයෙන් දිගහැරෙමින් පවතින බවයි.

අනතුරුව  ජුනි 25 වැනිදා කථානායවරයාට ලිපියක් යොමුකරමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ අධිකරණ සේවා සංගමයේ ලිපියෙන් තම වරප්‍රසාද උල්ලංඝනයවී ඇති බවයි.

චක්‍ර ලේඛ දෙකක් ඇතුළු කරුණු උපුටා දක්වමින් විනිසුරුවරුන්ට මාධ්‍යයට අදහස් දැකීමට ඇති සීමා පිළිබඳවත් එම ලිපියේ කරුණු සඳහන් කර තිබිණි.

අගවිනිසුරුවරයාටද පිටපත්කර තිබූ එම ලිපියෙන් ඇමතිවරයා ඉල්ලා තිබුනේ අධිකරණ සේවා සංගමයේ නිවේදනයට අත්සන් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසයි.

අධිකරණ ඇමතිවරයා මතුකළ මෙම කරුණුවලට අදාළව අගවිනිසුරුවරයා ඊයේ (08) දිනයෙන් කථානායකවරයාට යැවූ ලිපියේ ප්‍රතිචාර දක්වා ඇත.

මීට අමතරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස අගවිනිසුරුවරයාත් එහි සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ හා ඊ.ඒ.ජී ආර් අමරසේකර යන මහත්වරුන්ගේ අත්සනින් අධිකරණ සේවා කොමිෂන් සභාවද, විජයදාස රාජපක්ෂ මහතා නැගූ චෝදනාවලට අදාළව කථානායවරයා වෙත වෙනම නිරීක්ෂණ යොමුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාවළියට අදාළව අධිකරණය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මතුකල කරුණුවලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට යැවූ ලිපියේ දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු දෙක, 2023 නොවැම්බර් 15 හා 2024 මාර්තු 1 වනදින ඇතිවූ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමට අදාළව අධිකරණයේ අතුරු නියෝගය නිකුත් කළේ 2024 අප්‍රේල් 30 වැනි දිනයි.

මේ අනුව පුරප්පාඩු වූ දිනයේ සිට අධිකරණ නියෝගය ලබාදෙන දිනය දක්වා කාල සීමාවේ එම පුරප්පාඩු දෙක පිරවීමට නෛතික බාධාවක් හෝ අපහසුතාවක් නොතිබූ බව අගවිනිසුරුවරයා කථානායකවරයාට පෙන්වාදී තිබේ.

ඔහු සඳහන්කර ඇත්තේ, දැනට පුරප්පාඩුවී ඇති අභියාචනාධිකරණ විනිසුරුවරුන් පස් දෙනා පත්කිරීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි.

උපුටා ගැනීම
...තවද ගරු අමාත්‍යතුමාගේ ප්‍රකාශය තුළදී අමාත්‍යතුමාද පාර්ශ්වකරුවෙකු වන්නාවූ කොළඹ දිසා අධිකරණයේ පවත්නා නඩු කටයුත්තකදී ලබාදුන් නියෝග සම්බන්ධයෙන් ගරු කොළඹ දිසා විනිසුරුතුමා නම් කරමින් දෝෂ දර්ශනයට ලක්වීමක් සිදුවී ඇත.පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සිදුකරනු ලබන ප්‍රකාශයන්ට අදාළ වන්නාවූ 91 (ඊ) ස්ථාවර නියෝගය ඔබතුමන්ගේ අවධානයට ලක්කරනු කැමැත්තෙමි....
උපුටා ගැනීම අවසන්.....

මේ අතර අධිකරණ සේවා කොමිෂන් සභාව ලෙස කතානායකවරයාට යොමුකළ නිරීක්ෂණයේ අවධාරණය කර ඇත්තේ අධිකරණ සේවා සංගමය මාධ්‍ය නිවේදනය නිකුත්කර ඇත්තේ නිල කටයුත්තක් පදනම්කර ගනිමින් බවයි.

අමාත්‍යවරයා උපුටා දක්වා ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ චක්‍රලේකයේ සඳහන් වන්නේ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ පෙනී සිට ප්‍රකාශ නිකුත් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හා ගෞරවයට හානි සිදුවන්නේ නම් එවැනි ක්‍රියාවළින් වැළකිය යුතු බව පමණක් යැයි, කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කොමිෂන් සභාවේ නිරීක්ෂණ ලිපියේ සඳහන් වන්නේ, අමාත්‍යවරයා චෝදනා නගන අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා කිසිඳු අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් නීත්‍යානුකූල නොවන අයුරින් භාවිත කර ඇති බවක් අනාවරණය නොවන බවයි.

එම නිසා ඔහු කෙරෙහි කොමිසමේ විශ්වාසය පවතින බවද අධිකරණ සේවා කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.