ජනපතිගෙන් ප්‍රකාශයක්..

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යනවා - ජනපති

by Staff writer 11-07-2024 | 8:09 AM

COLOMBO ( News 1st ) - රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) පස්වරුවේ එක් වෙමිනි.මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලෙස විවෘත කෙරුණි.කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ "කුරුඳු අත් පොත" තාක්ෂණික ප්‍රකාශනය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විය.