සුරාබදු නිලධාරීන් තුන්දෙනකුට තීන්දුවක්...

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්...

by Staff writer 15-10-2024 | 10:33 PM

COLOMBO ( News 1st ) - සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේ ය.

ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි  සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ ගොනු කර තිබූ පෙත්සමක අවසන් තීන්දුව ප්‍රකාශට පත් කරමිනි.

පෙත්සම එම ඖෂධාලයේ හිමිකරු සහ එහි සේවකයින් හතරදෙනකු ඉදිරිපත් කර තිබුණි.

ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී පෙත්සම අද කැඳවනු ලැබුවේ ය.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂසහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර ඇතැයි තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ල අවධාරණය කළේ ය.

එම නිසා එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරුට ලබා දිය යුතු බව ද විනිසුරු මඩුල්ල නියෝග කරන ලදි.

එමෙන්ම අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බව ද විනිසුරු මඬුල්ල නියම කර සිටියේ ය.

ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වූ වන්දි ගෙවිය යුතු බවටත් විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දෙමින් නියෝග කළේ ය.