විදෙස් සංචාරකයින්ට දැනුම් දීමක්

බි‍යෙන් ‍තොරව මෙරට සංචාරය කළ හැකි බවට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් විදේශිකයින්ට දැනුම්දීමක්..!

by Staff writer 24-10-2024 | 7:44 AM

COLOMBO ( News 1st ) - එළැඹෙන සංචාරක සමයේදී බි‍යෙන් ‍තොරව සංචාරය කිරීමට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනාවක් කරනු ලැබේ.

සංචාරකයින්ට ඉහළම ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය ද ශක්තිමත් පියවර ‍‍ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළේ ය.

මේ වනවිට මෙරට රැඳී සිටින සංචාරකයින්ගේ මානසික සුවයට සහ ආරක්ෂාවට කිසිඳු ආකාරයක තර්ජනයක් එල්ල නොවන බවට සහතික විය හැකි බව ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඊයේ (23) පෙරවරුවේ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ආරුගම්බේ ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් ඇතැයි විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවය.

එම බරපතළ අවදානම සැළකිල්ලට ගෙන තානාපති කාර්යාලය තම කාර්යය මණ්ඩල සාමාජිකයින්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සීමා කළ බව එම උපදේශයේ සඳහන් විය.

නැවත දැනුම් දෙනතෙක් මෙම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව එහි දැක්විය.

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශය උපුටා දක්වමින් ඊශ්‍රායල් ජාතික ආරක්ෂක කවුන්සිලය ද ඊශ්‍රායල ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරයෙන් ඉවත්වන්නැයි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.