ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්!

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද(05) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් ! - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 05-01-2026 | 8:55 AM

COLOMBO (News 1st) - පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන බවත් සුළගේ වේගය පැ.කි.මී. 30 සිට 40  පමණ වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බේරුවෙල සිට කොළඹ සහ පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 සිට 60 දක්වා ඉහළ යා හැකිය.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද විටින් විට පැ.කි.මී. 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.

බේරුවෙල සිට කොළඹ සහ පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවන බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

මේ අතර උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර පළාතේත් නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි වේ.

අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර්. 50 දක්වා තද සුළං ඇති විය හැකි වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දපොර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.