ගම්මැද්දට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක්

දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වූවන් සඳහා ක්‍රියාත්මක ගම්මැද්ද මානුෂීය ක්‍රියාන්විතයට මින්ඩරූ පදනමෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ආධාරයක්

by Staff writer 05-01-2026 | 3:54 PM

COLOMBO (News 1st) - සමාජයේ යහපත උදෙසා නිරන්තරයෙන් ක්‍රියාකරන ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ස්වේච්ඡා ආයතනයක් වන මින්ඩරූ පදනම විසින්, ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක ගම්මැද්ද ක්‍රියාන්විතය සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක (AU$1 Million) මූල්‍ය ආධාරයක් ලබාදීමට එකඟ වී තිබේ.

නොවැම්බර් අවසානයේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වැසි, ගංවතුර සහ නායයෑම් මගින් දශක කිහිපයකින් ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනය බවට මෙය පත්විය.

ජීවිත හානි, මිලියන ගණනක් ජනතාව අවතැන් වීම්, හදිසි කඳවුරු වෙත දහස් ගණනක් යොමු වීම සහ නිවාස හා ප්‍රවාහන යටිතල පහසුකම් විනාශ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අතිශය දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.

මෙය ශ්‍රී ලංකාව පසුගිය වසරවල මුහුණ දුන් දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ සිදුවීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක්ද විය.

මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, ගම්මැද්ද ක්‍රියාන්විතය සිරස-ශක්ති සහන යාත්‍රා සමග එක්ව රටපුරා ක්‍රියාත්මක ස්වේච්ඡා සේවක ජාලයක් සමග එක්ව, ගොඩබිමින්, ජලයෙන් සහ ගුවන් මඟින් දුෂ්කර ප්‍රදේශවලට සහන ආධාර රැගෙන යාමට අඛණ්ඩව කටයුතු කරන ලදී. කැපිටල් මහරාජා මාධ්‍ය ජාලයේ ශක්තිය සමගින් එක්ව එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ හවුල්කාරීත්ව ජාල භාවිතා කරමින් සිදුකරන ලද මෙම බහුමාර්ගික සහන සේවා ක්‍රියාන්විතය ශ්‍රී ලාංකීය ජනතාවගේ සහ ආපදා කටයුතුවල නියුතු බළධාරීන්ගේ පවා නොයෙකුත් අවස්ථාවල ඇගයීමට ලක්විය.

මින්ඩරූ පදනම සමග ඇති වූ මෙම හවුල්කාරිත්වය මඟින්, පහත අත්‍යාවශ්‍ය මානුෂීය අවශ්‍යතා ඉතාමත් ඉක්මනින් සහ පුළුල් පරාසයකින් සපුරාලීමට ගම්මැද්ද ක්‍රියාන්විතයට හැකි වනු ඇත.
•හදිසි ආහාර, පානීය ජලය සහ සනීපාරක්ෂක ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම
•එදිනදා සෞඛ්‍ය අර්බුද වැළැක්වීම සඳහා වෛද්‍ය හා සනීපාරක්ෂක සැපයුම් සැලසීම
•දැඩි ලෙස බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවල ආරක්ෂිත නවාතැන් සහ මූලික යටිතල පහසුකම් ඉතා වේගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම


මින්ඩරූ පදනම යනු “සාධාරණ අනාගතයක් ගොඩනැගීම” අරමුණ කරගත් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ස්වේච්ඡා ආයතනයක් වන අතර, සමාජ අසමානතාවයට අභියෝග කිරීම, ප්‍රජා සවිබල ගැන්වීම, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ ස්වභාවික පද්ධති ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍රවල කටයුතු කරන පදනමක් වේ. එහි “Impact Missions” කණ්ඩායම ලෝකය පුරා උද්ගතවන හදිසි අර්බුදවලට වේගවත් ප්‍රතිචාර ලබාදීමට කැපවී ඇත.

මෙතෙක් මින්ඩරූ පදනම විසින් යුක්‍රේනය, ගාසාතීරය, සිරියාව, ලෙබනනය, කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය, සුඩාන සහ පැපුවා නිව් ගිනියාව වැනි රටවල ව්‍යසන හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සැලකිය යුතු මට්ටමේ සහන සේවා ලබාදී ඇති අතර, මෙම හවුල්කාරිත්වය හරහා දකුණු ආසියාව දක්වා මෙම ක්‍රියාන්විතය පුළුල් වී තිබේ.

උපුටාගැනීම,

“සෑම විටම අපගේ සහය ලෝකයේ වැඩිම වෙනසක් ඇති කරන ස්ථාන වෙත යොමු කිරීමයි, ස්වෙච්ඡා ආයතනයක් ලෙස අපේ භූමිකාව ගම්මැද්ද වැනි විශ්වාසදායී දේශීය හවුල්කාරීත්වයන් සදහා සහය දීමෙන්, එම ප්‍රජාවන්ට තමන්ගේ ප්‍රතිසාධනය තමන්ම නායකත්වය කරගෙන සිදුකරන්න අවශ්‍ය ගෞරවය හා විශ්වාසය ලබාදීමට හැකියාව ලැබේ,” යැයි මින්ඩරූ පදනමෙ හි ප්‍රධාන විධායක නිළධාරී ජෝන් හාර්ට්මන් මහතා පැවසීය.

මෙම අවස්ථාව වෙනුවෙන් අදහස් දැක්වූ ගම්මැද්ද ක්‍රියාන්විතයේ නායක ශෙවාන් ඩැනියල් මහතා, “මෙවන් අර්බුදකාරී මොහොතකදී ඇන්ඩෲ ෆොරස්ට් සහ නිකෝලා ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ගේ උදාරතර අදහස වෙනුවෙන් අපගේ අතිශය කෘතඥතාවය අපි පළ කරන්නෙමු. ශ්‍රී ලංකාව නැවත ශක්තිමත්ව නැඟී සිටිමින් තම සම්පූර්ණ හැකියාවන් කරා ගමන් කිරීමට මෙම හවුල්කාරිත්වය විශාල ශක්තියක් වනු ඇත. මෙය, මෙම විශිෂ්ට ආයතනයේ උතුම් බව පිළිබිඹු කරන සැබෑ උදාහරණයකි,” යනුවෙන් සඳහන් කළේය.

මින්ඩරූ පදනම සහ ගම්මැද්ද ක්‍රියාන්විතය අතර ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලාංකීය ජනතාවගේ අනාගතය ගෝලීය හවුල්කාරිත්වයකින් සහ දිගුකාලීන කැපවීමකින් ශක්තිමත් කරමින්, කිසිඳු ප්‍රජාවක් පසුබෑමට ලක් නොවීමට කටයුතු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.