චීනයෙන් අලුත් අත්හදා බැලීමක්...

චීනයෙන් ලොව ප්‍රථම මෙගාවොට් පන්තියේ හයිඩ්‍රජන් එන්ජින් සහිත නියමුවන් රහිත (Unmanned) ගුවන් යානයක් සාර්ථකව අත්හදා බලයි!

by Janitha Mendis 07-04-2026 | 2:22 PM

COLOMBO (News 1st) - චීනය විසින් ස්වාධීනව නිපදවන ලද, මෙගාවොට් පන්තියේ හයිඩ්‍රජන් ඉන්ධන භාවිත කරන ලොව ප්‍රථම එන්ජිම සහිත නියමුවන් රහිත (Unmanned) භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සිය මංගල ගමන සාර්ථකව අවසන් කර තිබේ.

චීනයේ හුනාන් ප්‍රාන්තයේ ෂුෂෝ (Zhuzhou) ගුවන් තොටුපොළේදී පසුගිය අප්‍රේල් 04 වැනිදා සිදු කළ මෙම අත්හදා බැලීමේදී, Aero Engine Corporation of China (AECC) ආයතනය විසින් නිපදවන ලද AEP100 වර්ගයේ ටර්බොප්‍රොප් එන්ජිම සාර්ථකව ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම පරීක්ෂණ පියාසර කිරීමේදී වාර්තා වූ දත්තයන් පහතින් දැක්වේ:

පියාසර කාලය: විනාඩි 16ක්

ගමන් කළ දුර: කිලෝමීටර් 36ක්

වේගය: පැයට කිලෝමීටර් 220ක උපරිම වේගයක්

උස: මීටර් 300ක උසකින් යානය පියාසර කර ඇත

යානයේ බර: ටොන් 7.5ක්

කාබන් විමෝචනයෙන් තොර හරිත ගුවන් ගමන් (Green Aviation) ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ලෙස සැලකෙන මෙම තාක්ෂණය, ඉදිරියේදී නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම මගී ප්‍රවාහන ගුවන් යානා සඳහා ද යොදා ගැනීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.