කම්කරු දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවුඩය

වැඩ කරන ජනතාවගේ අයිතින් සුරකිමින්, සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනගාදීම රජයේ ඒකායන අරමුණ බව, ජනපති කියයි.

by Staff writer 01-05-2026 | 6:39 AM

COLOMBO(News1st) - වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින්,  දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගාදීම ඒකායන අරමුණ බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ,  කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ, ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුව ද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ද, ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඇමරිකානු තීරු බදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ විශාල ජයග්‍රහණ රැසක් ළඟා කරගැනීම වෙනුවෙන් උරදුන් වැඩ කරන ජනතාවට ජාතියේ කෘතවේදිත්වය පළ කරන බවයි.