ප්‍රදේශ රැසකට අදත් තද වැසි.

ප්‍රදේශ රැසකට අදත් තද වැසි, අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ, දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අනතුරු ඇඟවීම්.

by Staff writer 23-05-2026 | 10:19 AM

COLOMBO(News1st) - අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර පැවසුවේ, එම ගංගා දෙපස ජීවත්වන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

කළු ගඟ හා කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේ ය.

මේ අතර අත්තනගලු ඔය පිටාර ගැලීමත් සමග ගම්පහ - ජා ඇල මාර්ගයේ හා ගම්පහ ගනේමුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, බියගම - මල්වාන මාර්ගයේද ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි.

වර්ෂාවත් සමග මීගමුව - කොටදෙනියාව මාර්ගයේ, මැල්ලවගෙදර තාවකාලික පාලමේ කොටසක් කැඩී ගොස් තිබේ.

මේ අතර පවතින ජල ගැලීම් හේතුවෙන් කටුනායක මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද ප්‍රදේශයෙන් අවහිර වී ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය දැනුම් දෙන්නේ,  ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක හරහා කුරුණෑගල අධිවේගී මාර්ගය වෙත ගමන් ගන්නා රථවාහනවලට ජා ඇල, මිනුවන්ගොඩ හරහා ගමන් කළ හැකියි.

කුරුණෑගල අධිවේගී මාර්ගයේ සිට කටුනායක හරහා කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහනවලට මිනුවන්ගොඩ ජා ඇල හරහා ගමන් කළ හැකියි.

ගම්පහ සිට පැමිණෙන රථවාහන මිනුවන්ගොඩ, සීදූව හරහා මිනුවන්ගොඩ, ජා ඇල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකියි.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළට පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බැවින් ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන්නැයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා දැනුම් දෙයි.

පවතින තත්ත්වය යටතේ ප්‍රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා දැනුම් දෙයි.

මේ අතර නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, ඒ හේතුවෙන් නිරිතදිග දෙසින් හෝ බස්නාහිර දෙසින් දිවයින හරහා හමන ජල වාෂ්ප සහිත සුළං ප්‍රවාහයක් පවතින බවයි.

එහි බලපෑම නිසා බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර ගෙවුණු පසුගිය සතිය තුළ වර්ෂාධික කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 5500 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ ය.