නාමල් වෙනුවෙන් කතා කළ විමල් අධිකරණයට අපහාස කළාද?

නාමල් වෙනුවෙන් කතා කළ විමල් අධිකරණයට අපහාස කළාද?

by Staff writer 18-09-2026 | 4:27 PM

COLOMBO(News1st) - නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම විවේචනය කරමින් විමල් වීරවංශ අනුරාධපුර පොදුජන පෙරමුණු රැස්වීමේදී  පසුගිය 12 වැනිදා කළ ප්‍රකාශයෙන්  අධිකරණයට අපහාසයක් සිදුව ඇත්දැයි වහා පරික්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

ඒ අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් ය.

එයාර් බස් අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම එම ඉල්ලීම කළේ ය.

සැකකාර නාමල් රාජපක්ෂ ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගණුදෙනුවේදි රුපියල් මිලියන 100ක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.