.webp)

2022 දී ශ්‍රී ලංකාවට ඇති වූ ආර්ථික අර්බුදය, ණය බර, වැරදි ආර්ථික කළමනාකරණය සහ මූල්‍ය දුෂ්කරතා නිසා පමණක් නොව, දූෂණය සහ අවංකභාවය බිඳ වැටීම නිසා සිදුවූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නීති දෙපාර්තමේන්තුවේ 80 වැනි සංවත්සරයට සමගාමීව වොෂින්ටන් නුවරදී පැවති විශේෂ සැසිවාරයකදී ඔහු මේ බව සඳහන් කළේය. IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් මහතා සමග පැවති විද්වත් සංවාද මණ්ඩපයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර ආසියාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන හා දූෂණ විනිශ්චය තක්සේරුවක් (Governance Diagnostic Assessment) සඳහා ප්‍රථම වරට ඉල්ලුම් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වූ ආකාරය මෙහිදී ඔහු විසින් පැහැදිලි කළේය.
1960 දශකයේදී සිංගප්පූරුව සමග සැසඳුණු සමෘද්ධිමත් ජාතියක් ලෙස පැවති ශ්‍රී ලංකාව, 2022 වන විට බංකොලොත් භාවයට සහ ආර්ථික බිඳවැටීමකට මුහුණ දීම පාලන තන්ත්‍රයේ අසාර්ථකත්වය කියාපාන කදිම නිදසුනක් බව ඔහු පෙන්වා දුන්නේය.
"ණය ප්‍රශ්න පමණක් නොවේ, කළමනාකරණ දෝෂ පමණක් නොවේ, ආර්ථික හේතූන් පමණක් නොවේ, අවංකභාවය නොමැතිකම සහ දූෂණයත් මීට මුල් වූ" බව රංග දිසානායක මහතා අවධාරණය කළේය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක් ලෙස දූෂණය හඳුනාගෙන ඇති බවද ඔහු සිහිපත් කළේය.
අල්ලස් හා දූෂණ විරෝධී ආයතන ශක්තිමත් කිරීමේදී ඉගෙනගත් පාඩම් පිළිබඳව සාකච්ඡා කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නවීන සහ ප්‍රගතිශීලී නීතියක් වන ශ්‍රී ලංකාවේ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත (Anti-Corruption Act) බලාත්මක කිරීම ඔහු විශේෂයෙන් ඇගයීමට ලක් කළේය. රජයේ පාලනයෙන් තොරව, මූල්‍ය ස්වාධීනත්වයෙන් සහ කැපවූ කාර්ය මණ්ඩලයකින් සමන්විත පූර්ණ ස්වාධීන අල්ලස් කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා නව නීතිය මඟින් ඉඩ සැලසී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
