උසාවි ආ ගෝඨාභයට මොකද වුණේ?

උසාවි ආ ගෝඨාභයට මොකද වුණේ?

by Staff writer 29-09-2026 | 6:33 PM

COLOMBO (News 1st) - යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ ය.

සාක්ෂි විමසීම සිදුවූයේ Online ක්‍රමයටයි.

අද පස්වරු 1.20 ට පමණ ගෝඨාභය රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ ය.

සාක්ෂි විමසීම ආරම්භවූයේ ඉන් විනාඩි 10 කට පමණ පසුවයි.

2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඥාතීන් ගොනු කළ නඩුවට අදාළව මෙම සාක්ෂි විමසීම සිදුවිය.

2011 දෙසැම්බර් 9 වැනිදා යාපනයේ ආවරංගාල් ප්‍රදේශයේදී ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් ප්‍රවෘත්ති සාකාච්ඡාවක් පැවැත්වීමට සූදානම්ව සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ලලිත් හා කුගන් පැහැරගොස් තිබුණි.

මෙම අතුරුදන්වීම පිළිබඳව එවක රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර තිබුණේ, ඔවුන් ජීවතුන් අතර සිටින බවයි.

එම ප්‍රකාශය පදනම් කරගෙන විමර්ශනවලදී ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දැනුම්දීමට අනුව එම ප්‍රකාශය කළ බව රඹුක්වැල්ල පවසා තිබුණි.

2019 වසරේ මාර්තු මාසයේදී අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබා දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කෙරුණේ ඒ අනුවයි.

නමුත් ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න මතුකරමින් සාක්ෂි ලබාදීම දිගින් දිගටම සිදු නොකළ ගෝඨාභය රාජපක්ෂ අනතුරුව ජනාධිපති ධුරයට පත්විය.

පසුගිය පෙබරවාරී මස 06 වැනිදා මෙම නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදීමට අවසර ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීමට ජූනි 02 වැනිදා අධිකරණය අවසර ලබා දුන් අතර අද සාක්ෂි විමසීම සිදුවූයේ ඒ අනුවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබාදුන් අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පැමිණිල්ල වෙනුවෙන් ය.
නීතීඥ නුවන් බෝපගේ මෙහෙයවීම මත සාක්ෂි සටහන් කර ගැණුනි.

සාක්ෂි ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ ඔහුගෙන් විමසූ ප්‍රශ්න කීපයකටම පිළිතුරු දෙමින් කියා සිටියේ, තමන්ට විශාල කාලයක් ගොස් තිබෙන නිසා අදාල සිද්ධීන් පිලිබද මතක නැති බවයි.

එමෙන්ම ඇතැම් පිරිස් පැහැර ගැනීම් සහ අතුරුදහන් වීමේ සිදුවීම්වලට හමුදා සහ බුද්ධි අංශ සම්බන්ධ බවට පවසා තිබෙන්නේ දේශපාලන වාසි වෙනුවෙන් සහ රටේ නමට හානි කිරීමට යැයිද ඔහු පැවසුවේ ය.