2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

by Staff writer 29-09-2026 | 3:52 PM

COLOMBO (News 1st) - 01. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව ක්‍රියාත්මක කිරීම

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2019 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස් කිරීම ආරම්භ කරන ලද නව ජාතික විෂයමාලා රාමුව සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා 2023-03-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. කෙසේ වෙතත්, 2024 වර්ෂයේදී නව රජය බලයට පත් වන අවස්ථාව වන විටදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා 1, 6 සහ 10 ශ්‍රේණිවලට අදාළ මොඩියුල ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර අවසන් කර තිබීම සැලකිල්ලට ගෙන, නව රජයේ ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය ගැලපීම් තහවුරු කර ගනිමින් නව ජාතික විෂය මාලා රාමුව 1 සහ 6 ශ්‍රේණි සඳහා පමණක් 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. එසේම, 10 ශ්‍රේණියේ සිට වෘත්තීය විෂයයන් හඳුන්වා දීමට ද තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ගැලපීම් සාධාරණීකරණය කරමින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති 'ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක්' සිදු කිරීමට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව 2025-10-22 දින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවට ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව, 2026-01-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ පළමු අදියර යටතේ සැලසුම් කරනු ලැබ ඇති 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් තැබීමටත්, 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සඳහා වූ නව විෂය මාලා ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගනු ලැබ තිබේ. ඉන් අනතුරුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවරයන් අනුගමනය කරනු ලැබ ඇත:

'ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක්' සිදු කිරීමට අදාළව සකස් කරන ලද සංකල්ප පත්‍රිකාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සමාලෝචනය කර ප්‍රතිපත්තිමය නිර්දේශ සහිත නව සංකල්ප පත්‍රිකාවක් නැවත පිළියෙල කිරීම.
එලෙස නැවත පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාව 2026-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව විසින් සහ විෂය මාලා ප්‍රතිසංස්කරණය, මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධනය, ඇගයීම හා තක්සේරුකරණය සහ මහජනතාව දැනුම්වත් කිරීම හා ප්‍රවර්ධනය යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ප්‍රධාන කුලුනු 05 යටතේ පිහිටුවනු ලැබ ඇති අනුකමිටු විසින් සමාලෝචනය කර තවදුරටත් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම.
එකී නිරීක්ෂණ හා නිර්දේශ මත පදනම්ව, 2023 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදනය කරනු ලැබ ඇති ජාතික විෂය මාලා රාමුව තවදුරටත් සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම.
ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතන සභාවේ අනුමැතිය ලබා ගැනීම.
ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතන සභාව විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ එකඟතාව 2026-08-13 දින ලබා ගැනීම.
2026 වර්ෂයේදී ආරම්භ කරන ලද ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට හැකි වන පරිදි 2027 වර්ෂයට අදාළව 1 ශ්‍රේණියේ සහ 2 ශ්‍රේණියේ වාර 03ටම අදාළ ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කර සූදානම් කිරීම.
6 ශ්‍රේණිය සඳහා I, II සහ III වාර සඳහා වන මොඩියුල මෙන්ම වාර 03ටම අදාළ ගුරු මාර්ගෝපදේශ සූදානම් කිරීම.
ප්‍රාථමික හා ද්විතීයික සියලුම විෂයයන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රධාන පුහුණුකරුවන් මේ වන විට පුහුණු කර ඇති අතර, පළාත් වශයෙන් ගුරු පුහුණුවට අදාළ සියලු සැලසුම් සකස් කිරීම.
පාසල් පද්ධතිය තුළ පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සකස් කරනු ලැබ ඇති පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණය පිළිබඳ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය, ඇගයීම් හා තක්සේරුකරණ අනුකමිටුව විසින් සකස් කර ජාතික මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලබා ගැනීම.
ඒ අනුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සහ පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණ මාර්ගෝපදේශය මත පදනම්ව, 2026 වර්ෂයේදී ආරම්භ කරන ලද 1 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වර්ෂයේදී ආරම්භ කර ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය අතර මූලික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් 2008-09-16 වන දින අත්සන් තබා ඇත. එකී ගිවිසුමට අනුකූලව, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන සහ උක් වගා ක්ෂේත්‍රයෙහි සංවර්ධනය හා ධාරිතා වර්ධනය සඳහා බ්‍රසීල තාක්ෂණික සහාය ලබා දීමට අදාළව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම පිණිස බ්‍රසීල විශේෂඥයින්ගෙන් සමන්විත උසස් මට්ටමේ නියෝජිත පිරිසක් 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ තාක්ෂණික නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. එකී තාක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයන් සහ ජාතික විද්‍යා පදනම විසින් බ්‍රසීල සහයෝගිතා නියෝජිත ආයතනය වෙත ඉදිරිපත් කරනු ලැබූ සංකල්ප පත්‍රිකාවක් මත පදනම්ව 2008 වර්ෂයේදී අත්සන් තබන ලද මූලික තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන තාර්කික රාමුව ඇතුළත් සහයෝගිතා ගිවිසුමක් කෙටුම්පත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. ඒ අනුව, බ්‍රසීල විදේශ කටයුතු අමාත්‍යාංශයේ බ්‍රසීල සහයෝගිතා නියෝජිත ආයතනය, විකෝසා ෆෙඩරල් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජය අතර ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමටත්, එම සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව අවශ්‍යතාවක් වන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ රජය අතර අනුපූරක ගැලපුම් ගිවිසුම අත්සන් තැබීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

03. සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම - (2026‑2035)

ශ්‍රී ලංකාවේ ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිණිස වන ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගය 2025-09-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එම උපායමාර්ගයට අනුගතව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියම කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. සමාජ සහනාධාර, සමාජ රැකවරණය, සමාජ රක්ෂණය, ශ්‍රම වෙළෙඳපොළ සහ ඵලදායී අන්තර්ගතකරණය යන මූලික කුලුනු 04ක් මත එම ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගය පදනම්ව ඇත. ඒ අනුව, එම උපාය මාර්ගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ මෙවලම ලෙස සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2026‑2035) සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගයට අනුගතව සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2026‑2035) ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා; කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය; සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) 1970 සංස්කෘතික දේපළවල නීතිවිරෝධි ආනයනය, අපනයනය සහ අයිතිය පැවරීම තහනම් කිරීම සහ වැළැක්වීම පිළිබඳ ප්‍රඥප්තියේ අංක 7 සහ 13 දරන වගන්ති අනුව කිසියම් රාජ්‍යකට අයත්, දැනට විදේශයන් සතුව පවතින සංස්කෘතික දේපළක් එය අයත් රාජ්‍යයට නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේ අයිතිවාසිකම් පවරා ඇත. එවකට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීමේ I වන අදියර ලෙස 2023 වර්ෂයේදී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි Rijksmuseumහි තිබූ ලෙව්කේ දිසාවගේ කාල තුවක්කුව, මහ තුවක්කු 02ක්, කොපු සහිත කස්තාන 02ක් සහ කොපු සහිත පිහියක් ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් ආපසු ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙන ලදී. නෙදර්ලන්ත කමිටුව සමඟ කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තවදුරටත් ඍජුව අදහස් හුවමාරු කර ගනු පිණිස සහ ශ්‍රී ලංකාවෙන් යටත් විජිත යුගයේ ගෙන යනු ලැබූ සංස්කෘතික දේපළ ප්‍රතිෂ්ඨාපන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබා දෙනු පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීම වඩාත් යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපන කටයුතුවලදී ශ්‍රී ලංකා රජයට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා 'විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කමිටුව' නමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (සංස්කෘතික ප්‍රවර්ධන සහ විදේශ) ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල තත්ත්වය හා පාරිසරික අඛණ්ඩතාව ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා පුනරුත්ථාපන හා කළමණාකරන යාන්ත්‍රණයක් සකස් කිරීම.

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාරිසරික වැදගත්කම සැලකිල්ලට‌ ගෙන, 2007-03-05 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් එම වැව සහ අවට ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එහෙත්, ජල පෝෂක ප්‍රදේශය හා වැව ආශ්‍රිතව පවතින විවිධ ක්‍රියාකාරකම්වල බලපෑම් හේතුවෙන් මේ වන විට වැවෙහි ජල තත්ත්වය සහ පාරිසරික තත්ත්වය සැලකිය යුතු අයුරින් පිරිහී ඇති බව නිරීක්ෂණය වී තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය විසින් නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කර ඇති අතර, සාමාන්‍ය ජලයේ තිබිය යුතු ගුණාත්මක මට්ටම අභිබවා පොස්පේට්, නයිට්‍රජන් සහ ජෛව රසායනික ඔක්සිජන් පවතින බව එම අධ්‍යයනය මඟින් තහවුරු වී ඇත. දශක ගණනාවක් පුරා අවසාදිත එකතු වීම හේතුවෙන් වැව හා ජල මාර්ගවල රොන් මඩ තැන්පත් වීම, පොහොර හා කෘමිනාශක ඇතුළු කෘෂිකාර්මික අපද්‍රව්‍ය ජල පෝෂක ප්‍රදේශයෙන් වැවට ගලා ඒම සහ නාගරික ක්‍රියාකාරකම් හේතුවෙන් අපජලය හා ඝන අපද්‍රව්‍ය වැවට එක් වීම වැව් ජලයෙහි ගුණාත්මක තත්ත්වය පිරිහීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධක වශයෙන් හඳුනා ගනු ලැබ ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින්, ග්‍රෙගරි වැවෙහි හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ ඒ අවට පරිසරය තිරසරව පවත්වාගෙන යාම සඳහා සම්බන්ධීකරණය වූ හා විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් අධීක්ෂණ හා කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත්, ග්‍රෙගරි වැව සංරක්ෂණ හා පුනරුත්ථාපන ක්‍රියාකාරී කමිටුව නමින් අදාළ රාජ්‍ය ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

06. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා සංඛ්‍යාත කළමනාකරණ හා අධීක්ෂණ පද්ධතියක් සහ සේවා ගුණාත්මකභාවය හා පරිශීලක අත්දැකීම් ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් ස්ථාපිත කිරීම.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් 'ඩිජිටල් සංවර්තනය දියුණු කිරීමේ ව්‍යාපෘතිය' සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව සමඟ කටයුතු කිරීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සංඛ්‍යාත කළමනාකරණ සහ අධීක්ෂණ පද්ධතියක් මෙන්ම සේවා ගුණාත්මකභාවය සහ අත්දැකීම්වල ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් අවශ්‍යව පවතී. ඒ සඳහා බාහිර මූල්‍යකරණ ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 9.25ක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක ඩිජිටල්කරණ සංවර්තන ව්‍යාපෘතිය මඟින් 'සංඛ්‍යාත කළමනාකරණ සහ අධීක්ෂණ පද්ධතිය' සහ 'සේවා ගුණාත්මකභාවය හා අත්දැකීම්වල ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතිය' ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07. බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - III වන අදියර - කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම.

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන මාර්ග කොටසක් මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත. ජාතික තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ කාර්යය සඳහා ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලැබී ඇති ලංසු 07ක් ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත රුපියල් බිලියන 2.89ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

08. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීම.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් මිල දී ගෙන සවි කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තව ද, 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඊ‑පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු පහසුකම මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන විදේශිකයින් සඳහා ද භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලැබේ. එමෙන්ම, ව්‍යාපාරික හා සංචාරක ක්ෂේත්‍රයේ සීග්‍ර ප්‍රගමනය සමඟ අඛණ්ඩව ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාව ද සැලකිල්ලට ගෙන මුළු ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු ප්‍රමාණය 12ක් දක්වා වැඩි කිරීමේ යෝග්‍යතාව ද හඳුනා‌‌ගෙන තිබේ. ඒ අනුව, දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට අමතරව තවත් ගේට්ටු 08ක් සහිතව සම්පූර්ණ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 12ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිල දී ගැනීමේ හා ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

09. ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය.

භූගත ජල මූලාශ්‍ර දූෂණය වීම, භූගත ජල ඉල්ලුම ඉහළ යාම, දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටා සහ භූගත ජල ප්‍රතිආරෝපණ ක්‍රියාවලීන් වෙනස් වීම ආදී අභියෝගයන්ට මුහුණ දීම සඳහා පියවර ගැනීමේදී දිගුකාලීන තිරසරභාවය සහිත දැනුවත් තීරණ ගැනීම සඳහා සහාය වන වඩාත් ව්‍යුහගත, විශ්වසනීය සහ විද්‍යාත්මක පදනමක් සහිත භූගත ජල තොරතුරු පද්ධතියක අවශ්‍යතාව පැන නැගී තිබේ. එහෙත්, වසර ගණනාවක් පුරා රැස් කරන ලදුව ජල සම්පත් මණ්ඩලය සතුව පවතින දත්ත කට්ටල බොහෝ දුරට විසිරී පැවතීම සහ ඒවා ක්‍රමානුකූලව භූ‑යොමුගත (geo-referenced) කර නොමැති වීම හේතුවෙන් අවකාශයීය විශ්ලේෂණ සහ විස්තීරණ භූගත ජල කළමනාකරණය සඳහා එම දත්ත ඵලදායී ලෙස භාවිත කිරීමට නොහැකි වී ඇත. එමෙන්ම, භූගත ජල කළමනාකරණ ක්‍රියාවලීන්හිදී භූගෝලීය තොරතුරු පද්ධති මෙවලම් ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම මඟින් උසස් අවකාශීය ආකෘති සහ සිතියම්කරණ පද්ධති සංවර්ධනය කිරීම ද සීමා වී තිබේ. එබැවින්, එකී අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. භූගත ජල තොරතුරුවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීම, ජල සම්පත් මණ්ඩලයේ නියාමන ධාරිතාව ඉහළ නැංවීම, බලපත්‍ර ලබා දීම, නිමානය කිරීම, නීතිය බලගැන්වීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම එමඟින් සිදු කෙරෙනු ඇත. ඒ අනුව, රුපියල් මිලියන 180ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, යාපනය සහ හම්බන්තොට යන ප්‍රධාන දිස්ත්‍රික්ක 05 මූලික කර ගනිමින්, 2027 වසරේ සිට වසර 03ක කාලසීමාවක් තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

10. භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 1917 අංක 9 දරන භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2024-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට තවදුරටත් සහන සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛණිජ තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයටත් සමස්ත ආර්ථිකයටත් ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා 2026 වර්ෂයේ අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී ඉන්ධන පාරිභෝගිකයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන ලදී. එකී යුදමය වාතාවරණය තවදුරටත් අවසන් නොවී පැවතීම හේතුවෙන් මෙරට ජනතාවගේ ජන ජීවිතයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයින්ට දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාමට සහ ඒ අනුව පොදු මහජනතාවට සහනයක් සැලසෙන අයුරින් රජය විසින් ඉදිරි මාස 03ක කාලසීමාවක් සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත සහනයක් සලසා දීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එම සහනය සැලසීම පිණිස ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක් වශයෙන් මාසික සීමාවන්ට යටත්ව ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.