ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

by Staff writer 29-09-2026 | 7:37 PM

COLOMBO (News 1st) - ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සම්බන්ධයෙන් වන කරුණු කෙටුම්පතට ඇතුළත් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් පරමාර්ථය, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කිරීම, පාලනය කිරීම  සහ පාලනකරණය ඇතුළු විවිධ අංශ යටතේ මෙම  ගැසට් පත්‍රයේ කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා වගකීම පැවරෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයකටයි.

එහි සාමාජිකයන් 22 වන වගන්තිය යටතේ පිහිටුවන ලද නාම යෝජනා කමිටුව මගින් ඡන්දයෙන් සහ මණ්ඩලය විසින්පත් කරනු ලැබිය යුතු ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා නම් කරන මණ්ඩලයට ඇතුළත් වන පුද්ගලයන් සම්බන්ධයෙන්ද මෙහි කරුණු දක්වා තිබේ.

ඒ අනුව ඊට ඇතුළත් වන ක්‍රීඩකයින්, පත් කරනු ලබන දිනට පෙරාතුව වූ මාස තිස්හයක කාල සීමාවට පෙර යම් ඕනෑම කාලයකදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පහළොවකට නොඅඩු ක්‍රිකට් තරග ක්‍රීඩා කර ඇති මනා කීර්ති නාමයක් ඇති හිටපු ක්‍රීඩකයෙකු විය යුතු බව සඳහන් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පත්වන නිලධාරීන්ට ශ්‍රී ලංකාවෙන් පිටත එකඟතා, ගිවිසුම් හෝ ආයෝජන, බද්ධ ව්‍යාපාර, උපායමාර්ගික හවුල්කාරීත්වය, සහන, රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර, ඉදිකිරීම් - මෙහෙයුම් - පැවරීමේ විධිවිධාන සහ වෙනත් වාණිජ සංවර්ධන හෝ මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා එළඹීමට සහ ඒවා කිරීම හෝ කරගෙන යාම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා නම් කරන මණ්ඩලයට ඇතුළත් වීමට නුසුදුසු වන පුද්ගලයින් සම්බන්ධයෙන්ද ගැසට් පත්‍රයේ කරුණු සඳහන් ය.

ඒවා අතර, ශ්‍රී ලංකාවේ ලිඛිත නීති යටතේ  වරදකරු කිරීම සම්බන්ධයෙන් වන කරුණු යටතේ පැහැදිලි කිරීම් සිදු කර තිබේ.

විනය පදනම් මත, විෂමාචාර වැනි හේතු මත ධුරයකින් ඉවත් කළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද එහි කරුණු සඳහන් ය.

මේ අතර නාම යෝජනා භාර දීමට පෙරාතුවම  අවුරුදු 3ක කාලසීමාව තුළ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයේ ගෙවීම් ලබන සේවා නියුක්තිකයෙකුද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන මණ්ඩලයට නුසුදුස්සෙක් ලෙස දක්වා තිබේ.

ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ,  ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන මණ්ඩලයට ඇතුළත් වන පුද්ගලයින් හෝ ඔහුගේ පවුලේ අය ඔට්ටු ඇල්ලීම, සූදු හෝ පරදු සම්බන්ධයෙන් බැඳියාවක් ඇති අයෙකු නොවිය යුතු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ ක්‍රීඩා පනත යටතේ පිහිටුවන ලද වෙනත් ජාතික ක්‍රීඩා සංගමයක හෝ යම් ක්‍රීඩා සමාජයක හෝ සංගමයක තනතුරු දරා ඇත්නම් ඔවුන්ටද ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට ඇතුළත් විය නොහැකි බවට අදාළ පනතේ දක්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි කටයුතුවල එක් එක් අංශ නියෝජනය වන කමිටු පත් කිරීමටද යෝජිතයි.

ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ කාර්ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන්ද අදාල ගැසට් පත්‍රයේ කරුණු ඇතුළත් ය.

තහනම් උත්තේජක භාවිතය, දූෂණය, ඔට්ටු ඇල්ලීම, තරග පාවාදීම, තරගයේ නිශ්චිත අවස්ථා පාවාදීම හෝ අභ්‍යන්තර තොරතුරු අවභාවිතය සම්බන්ධයෙන් ICC, ACC හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අනුබද්ධිත සංගමයක තීරණ ගැනීමේ අධිකාරිය විසින් පනවන ලද දණ්ඩනයකට, තහනමකට, අත්හිටුවීමකට, තහනම් කිරීමකට ලක්ව ඇත්නම් පරිපාලනයට නුසුදුසු බවද අදාළ ගැසට් නිවේදනය මගින් කරුණු දක්වා තිබේ.

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න…