රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කල් යයි.

මහජන මුදලින් විදෙස් සංචාරයක නිරත විමේ චෝදනාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කල් යයි.

by Staff writer 30-09-2026 | 4:26 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 11 යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියම කළේය.

එදිනට නීතිපති උපදෙස් කැඳවීමට නියමිතයි.

රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කරමින් එංගලන්තයේ සංචාරයක් සිදු කළැයි චෝදනා කරමින් නඩුව පවරා තිබේ


කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද(30) නඩුව කැඳවූවේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණයට දැනුම් දුන්නේ, විමර්ශන අවසන් කර උද්ධෘත නිතීපතිවරයා වෙත යොමු කළ බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නොවැම්බර් 11 වැනිදා කැඳවීමට දින නියම කරමින් එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරියට නියම කළේය.