දරුවන්ගේ Photo & Video FBදාන දෙමාපියන්ට රතු එළියක්

දරුවන්ගේ Photo & Video FB දාන දෙමාපියන්ට රතු එළියක්...

by Staff writer 30-09-2026 | 10:18 AM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍යාංශය පැවසුවේ Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි

දරුවන්ගේ දක්ෂතා සහ සුරතල් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන එම ඡායාරූප හා වීඩියෝ වාණිජ අරමුණු සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍යංශය පවසයි.

දරුවන්ගේ දෛනික ජීවන රටාව ඇතුළත් වීඩියෝ සහ Vlog සටහන් සමාජ මාධ්‍ය වෙත එක් කිරීම හරහා ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකියි.

එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ උපයෝගී කර ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක්ද පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එබැවින් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත්ව සහ වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ ය.