අගමැතිනියගේ ලෝක ළමා දින සුබ පැතුම...

අගමැති හරිනි ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරයි...

by Staff writer 01-10-2026 | 10:36 AM

COLOMBO (News 1st) - දරුවෙකුට යහපත් ළමා කාලයක් හිමිකර දීම උදෙසා ඔවුන්ගේ මානසික සුවතාව, ආත්මවිශ්වාසය හා ගරුත්වය ගොඩනැංවීම මෙන්ම, ප්‍රචණ්ඩත්වයෙන්, අවමානයෙන් සහ වෙනස්කොට සැලකීමෙන් තොර නිදහස් පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ලෝක ළමා දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, නව ඩිජිටල් පරිසරය තුළ දරුවන් ආරක්ෂා කිරීමේදී ඔවුන්ගේ මානසික හා මනෝසමාජීය යහපැවැත්ම කෙරෙහි ද සමාන අවධානයක් යොමු කළ යුතු බවයි

දරුවන් සම්බන්ධයෙන් වන වගකීම රජය මනාව හඳුනාගෙන ඇති අතර, අන්තර්ජාලය තුළ මෙන්ම ඊට පිටතදී ද දරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද ඇය පැවසුවාය.

එමෙන්ම මේ වසරේදී රජය විසින් 'කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත' සංශෝධනය කරමින්, අදාළ වැරදි සඳහා පනවා තිබූ දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ය.

වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ එලෙස දඬුවම් ශක්තිමත් කිරීම මඟින් නීතිවිරෝධී සහ හානිකර රැකියාවලින් දරුවන් ආරක්ෂා කිරීමට රජයට හැකිවන බවයි.