.webp)
-624959.jpg)
අපි මේ සිදුවීම පිළිබඳව අද එකින් එක විමසා බලමු.
චෝදනාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ බිරිද අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ ආරක්ෂකයෙකුට කැමරාවෙන් පහරදුන් බවටයි.
මේ ආරක්ෂක නිලධාරියා කොම්පඤ්ඤවීදිය පොලිසියට කර තිබූ පැමිණිල්ලක් අනුව නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී චරිත් නයෝමාල් අද පොලිසියේ පෙනී සිටියේය.
රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර තිබුනේ නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී චරිත් නයොමාල් ඔහුට කැමරාවෙන් පහරදීම හේතුවෙන් ක්ලාන්තය සහ වමනය තත්ත්වයට අදාළ ලක්ෂණ මතුව ඇති බවයි.
පසුව මෙම ආරක්ෂක නිලධාරියා පැමිණිල්ල කර පසුව රෝහල්ගතව තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලීසිය මෙම පැමිණිල්ලට අදාළව කළ දැනුම්දීමට අනුව නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී චරිත් නයෝමාල් අද(01) පෙරවරුවේ පොලිසියේ පෙනී සිටියේය.
පොලිසිය එහිදී ප්‍රකාශ ලබාගත් අතර ඔහු කියා සිටියේ තමන් කිසිදු අයුරකින් පහරදීමක් සිදු නොකළ බවයි.
උපුටා ගැනීම
චරිත් නියෝමාල්
නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී
"මම අවුරුදු 15කට වැඩි කාලයක් කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.මට රනිල් වික්‍රමසිංහ හමුවුන පළමු අවස්ථාවත්, අවසන් අවස්ථාවත් මේක නෙමෙයි. අදත් මම ප්‍රවෘත්ති ආවරණ කටයුතු කළා. එළියට එද්දි තමයි මේක වුණේ. මගේ එක් අතක කැමරාව අනෙක් අතේ ෆෝන් එක. ආරක්ෂක නිලධාරියා මාව තල්ලු කළා. වැටෙන්න යද්දි මගේ කැමරාවත් වැටෙන්න ගියා. මම ඒක අල්ලගන්න ගියේ.පස්සේ සමාජ මාධ්‍යවල මම දැක්ක මම ගැහුවා කියල යනවා. ගැහුවා නම් ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරියා ඔලුවවත් අල්ලන් ඉන්නවා මම දැක්කේ නෑ. මගේ කැමරාව ලක්ෂ අටකට වැඩිය වටින කැමරාවක්. ඒකේ සෙන්සිටිව් කොටස් ගොඩක් තියෙනවා. ඔය කියන විදිහට ගැහුවනම් මගේ කැමරාව කැඩෙන්න ඕනේ. මම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම කිසිම විදිහක පහරදීමක් කළේ නැහැ."
පොලීසිය මෙම සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියා සමග සිටි තවත් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණි.
මීට අමතරව සිද්ධියට මුල් වූ ආරක්ෂක නිලධාරියාගේ වෛද්‍ය වාර්තාද පොලීසිය විමසා බැලීමෙන් අනතුරුව අද(01) පස්වරුවේ නිව්ස් ෆස්ට් මාද්‍යවේදී චරිත් නයෝමාල් පොලිස් ඇප මත මුදා හැරියේය.
පොලිසිය දැනුම් දුන්නේ අනුදැනුමකින් පහරදීමක් කළ බවට නිරීක්ෂණය නොවන බවයි.
පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයාගෙන් සිද්ධියවූ අවස්ථාවේ එවැනි ප්‍රතිචාරයක් දක්නට නොලැබුනු බවද පොලීසිය නිගමනය කර තිබේ.
මේ අනුව මෙය සුලු තුවාල සිදුවීම සම්බන්ධ කරුණක් බැවින් ඉදිරියේදී කැඳවීමක් කළහොත් සමථ මණ්ඩලය හමුවට හෝ පොලීසියට ඉදිරිපත් වන ලෙස නියෝග කරමින් පොලිස් ඇප මත මාධ්‍යවේදීයා මුදා හැරුණි.
