අනෝජන් වෙනුවෙන් අභියාචනා ගොනු කෙරේ...

අනෝජන්ගේ මරණ දඬුවම ලිහිල් කරගැනීමට, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කෙරේ...

by Staff writer 12-10-2026 | 11:37 AM

COLOMBO (News 1st) - සෞදියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසාගේ දඬුවම ලිහිල් කරගැනීමේ අරමුණින් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (11) අභියාචනයක් ගොනු කර තිබේ.

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ, සෞදියේ රියාද් නුවර පිහිටි නීතිඥ සමාගමක් හරහා එය ගොනු කළ බවයි.

එම අභියාචනය ඉදිරි දිනයකදී විභාගයට ගනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

එම කටයුතු සඳහා සෞදිය බලා ගිය ශ්‍රී ලාංකික ජනාධිපති නීතිඥවරු පිරිස අද (12) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ලිහිල් කර ගැනීමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි,  ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සෞදිය බලා පිටත්ව ගියේ, පසුගිය අඟහරුවාදායි.

මේ අතර අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා පසුගිය 8 වැනිදා සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් දම්මාම් මධ්‍යම බන්ධනාගාරයට ගොස් තිබේ.

විදේශ අමාත්‍යංශය පැවසුවේ, අනෝජන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට තානාපතිවරයා තහවුරු කර ඇති බවයි.

තානාපතිවරයා, දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාරයේ වෛද්‍යවරයා ද හමුවී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකට අදාළව සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය, අනෝජන් සිවරාසාට වසර 5 ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කර තිබිණි.

එම දඩුවමට අදාළව අනෝජන්ගේ පාර්ශ්වය අභියාචනා ගොනු කළ පසු, ඊට එරෙහිව එරට නීති ප්‍රධානීන් ද තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඔහුට මරණ දඬුවම නියම කෙරුණේ, අදාළ අභියාචනා සළකා බැලීමෙන් අනතුරුවයි.

මීට මාස 9කට පෙර රැකියාවක් සඳහා සෞදියට ගිය අනෝජන් සිවරාසා, කල්මුණේ නැට්පිට්ටිමුනෙයි පදිංචිකරුවෙකි.