ශිරන්තිගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ වෙයි

ශිරන්තිගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ වෙයි

by Staff writer 12-10-2026 | 3:06 PM

COLOMBO(News1st) -  තමා අත්අඩංගුවට ගතහොත් පෙර ඇපයක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිරන්ති රාජපක්ෂ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම, මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නිෂ්ප්‍රභ කළේය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා නියෝග කළේ, අදාළ අපේක්ෂිත අයදුම්පත නිශ්චිත අධිකරණ බල සීමාවේ ගොනු කරන ලෙසයි.

2010 වසරේ සැකකාර ශිරන්ති රාජපක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් 'සිරිලිය සවිය' ගිණුමට බැරකර එම මුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළව ඇයට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

ඊට අදාළව තමා අත්අඩංගුවට ගතහොත්, පෙර ඇපයක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පසුගිය 5 වැනිදා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ගොනු කර තිබුණි.

අද(12) එය කැඳවූ අවස්ථාවේ නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සමදරි ප්‍රියසේන කියා සිටියේ, එම අපේක්ෂිත ඇප අයැදුම්පත සළකා බැලීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි.

සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කර ඇති බැවින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම අධිකරණයේ අපේක්ෂිත ඇපයක් ඉල්ලීමට පෙත්සම්කාරියට හැකියාවක් නොමැති බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය පෙන්වා දුන්නේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපේක්ෂිත ඇප අයදුම නිශ්ප්‍රභ කිරිමට නියෝග කළේය.
ccc