හදිසි විදුලිය බිඳවැටීම ගැන විධිමත් පරීක්ෂණයක්

දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නවා - ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම

by Staff writer 18-10-2026 | 7:32 AM

COLOMBO(News1st) - දිවයින පුරා ඊයේ සිදු වූ හදිසි විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, පරීක්ෂණය සිදු කර එහි මූලික පරික්ෂණ වාර්ථාව ඉදිරි දින කිහිපය තුළ බලශක්ති අමාත්‍යංශයට භාර දීමට කටයුතු කරන බවයි.

ඊයේ උදෑසන 11.40 ට පමණ දිවයිනපුරා හදිසි විදුලි බිඳවැටිමක් සිදු විය.

පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කළේ, පැය 10 කාලයක් තුළ බිද වැටීම යථා තත්ත්වයට පත් කළ බවයි.

හදිසි විදුලි බිද වැටිමට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ.

විදුලි බිඳ වැටීම හමුවේ කිසිදු බලාගාරයක් බිඳ වැටී නොමැති බවද එම සමාගම ප්‍රකාශ කළේ ය.

එම සමාගම සඳහන් කළේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පමණක් මෙවැනි හදිසි විදුලිය බිඳ වැටීමකදී නිසි ක්‍රමවේදය අනුව ක්‍රියාවිරහිත කර ඇති බවයි.

මේ අතර ඊයේ සිදු වු හදිසි විදුලි බිද වැටීමත් සමග පද්ධතියේ ස්ථායීතා පවත්වා ගැනීම සඳහා වහල මත සවිකර ඇති සූර්යය පැනල අද සිට නැවත ක්‍රියාත්මක කළ හැකි බව ද ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම වැඩිදුරටත් පැවසුවේ ය.