වසර 70කට පසු සෞදියට මත්පැන් අලෙවිසැලක්

සෞදි ඉතිහාසය උඩුයටිකුරු කරමින් වසර 70කට පසු විවෘත කළ මත්පැන් අලෙවිසැල..

by Chathurika Jayasundara 27-01-2024 | 11:19 AM

COLOMBO (News 1st)  – සෞදි අරාබියේ වසර 70කට පසුව මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා. 

පසුගිය 24 වැනිදා විවෘත කළ මේ මත්පැන් අලෙවි සැල විවෘත වන්නේ, මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පමණක් වීමත් විශේෂත්වයක්.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ Vision 2030 යටතේ සෞදි සමාජය ලිබරල් කිරීම සඳහා වන වැඩපිළිවෙළට සමගාමීව මෙම මත්පැන් අලෙවිසැල විවෘත කර තිබෙනවා  

වි‍දෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට 1950 වසරේ දී පමණ සෞදි අරාබියේ මත්පැන් වෙළඳාම තහනම් කර තිබුණා. 

ඒ, එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසින්. 

අබ්දුල්ලාසීස් රජුගේ පුත්‍රයෙකු බීමතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඔහු එම තීරණය ගෙන තිබුණු බව විදෙස් මාධ්‍ය පවසනවා. 

කෙසේ වෙතත් මෙහි සේවාව ලබා ගන්නේ නම් ඔවුන් ඊට ලියාපදිංචි වී රජයෙන් අවසර ලබා ගත යුතුව තිබෙන අතර, රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද නොමැති , මධ්‍යසාර සඳහා ප්‍රවේශයක් නොමැති අයට මධ්‍යසාර පානයට අවසර හිමි වන්නේ නැහැ. 

මේ අතර , අවුරුදු 21ට අඩු කිසිවෙකුට මේ මත්පැන් අලෙවිසැලට ඇතුළු වීමට ඉඩක් නොදෙන බව වි‍දෙස් මාධ්‍ය සඳහන් කරනවා 

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, මෙහිදී මත්පැන් පානය කරන්නන් ඔවුන් පානය කරන ස්ථානය සහ පසුව හැසිරෙන ආකාරය ගැන සැලකිලිමත් වීම වැදගත් වන බවයි. 

ඒ, වත්මන් සෞදි නීතියට අනුව, මත්පැන් පානය කිරීම හෝ ළඟ තබා ගැනීමට සෞදි රජය  සිරගත කිරීම, ප්‍රසිද්ධියේ කස පහර දීම සහ පිටුවහල් කිරීම මෙන්ම දඩ නියම කිරිම වැනි දඩුවම් ලබා දෙන බැවින්.