ජනපති අනුරගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය

ජනපති අනුර කුමාර දිසානායක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය - ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි

by Staff writer 27-09-2024 | 2:47 PM

COLOMBO (News1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය, දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමග පැවති හමුවකදීය.

ඊයේ(26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විය.

එහිදි ජපාන තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි.

ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා දී එහිදි සඳහන් කළේය.

ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, යළි ආරම්භ කෙරෙනු ඇත.

මීට අමතරව අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ  සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇති බව ජපාන තානාපතිවරයා  සදහන් කළේ ය.

ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අවසන් අදියරේ පවතින  හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ද කඩිනමින්  නිම කිරීම මෙන්ම,වැඩ අවසන්ව ඇති, කැළණි ගඟ නව පාලම ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද  මීට ඇතුළත් වේ.