රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක්..

රංග රාජපක්ෂගේ මරණය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක්

by Staff writer 01-05-2026 | 9:32 PM

COLOMBO (News 1st) - වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම් 3 ක් පත් කර තිබේ.

මේ අතර, රංග රාජපක්ෂගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණේ කුලියාපිටිය රෝහලේදී ය.

මහා භාණ්ඩාගරයේ ඩොලර් මිලියන 2 යි දශම 5 ක් සයිබර් අපරාධකරුවන් විසින් සොරකම් කිරීමේ සිදුවීමට අදාළව රංග රාජපත්ෂ වැඩ තහනමට ලක්ව සිටියදී කුලියාපිටියේ පිහිටි සිය ගෙවත්තේදී මිය ගියේ ය.

මේ අතර රංග රාජපක්ෂගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සදහා  වෛද්‍ය මණ්ඩලයක් පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ , විශේෂඥ අධිකරණ වෛද්‍ය වරුන් 04 දෙනෙකුගෙන් එම මණ්ඩලය සමන්විත බවයි.

ඒ අතර, කුරුණැගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලදාරි වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා එම පරික්ෂණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලදාරී වෛද්‍ය අජිත් ජයසේන, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලදාරි  වෛද්‍ය සම්පත් සේනතුංග ,නිකවැරටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලදාරි  යූ ඩී ජී දිසානායක එම පරික්ෂණ කමිටුවේ සෙසු සමාජිකයින් ය.

මරණ පරීක්ෂණයට පෙර අදාළ පරීක්ෂණ කණ්ඩායම රංග රාජපක්ෂ මියගිය ස්ථානය පරීක්ෂාවට ලක් කළේ ය.

ඊයේ දහවල් රංග රාජපක්ෂගේ සිරුර හමුවුණේ කුලියාපිටියේ පිහිටි ඔහුගේ ගෙවත්ත පිටුපස තිබීයදී ය.

ඊයේ පෙරවරු 10 ට පමණ රංග රාජපක්ෂ සිය ගෙවත්ත පිටුපසට ගොස් තිබූ අතර පස්වරු 2 ට පමණ ඔහුගේ සිරුර හමුවී ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

පොලීසියේ පැවසුවේ , සිරුරේ පාදයක ගැඹුරු කැපුම් තුවාලයක් ඇති බවයි.

මහා භාණ්ඩාගාරයේ මුදල් සයිබර් අපරාධකරුවන් විසින් සොරා ගැනීමේ සිද්ධියට අදාළව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ රංග රාජපක්ෂගෙන් අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

සේවයේ නිරතව සිටි කාලසීමාවේදී එක් වරක් ප්‍රකාශ ලබාගෙන තිබූ අතර අනෙක් අවස්ථා දෙකේ ප්‍රකාශ ලබාගෙන තිබුනේ වැඩ තහනමට ලක්ව සිටියදී ය.

මූලික විමර්ශනයේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රංග රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණි.

50 හැවිරිදි රංග දෙදරු පියෙකි.