.webp)
-624013.jpg)
දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බවද, මේ වසරේදී එය රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවද පැවසූ ජනාධිපතිවරයා ඒ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තව දුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පස්වරුවේ සහභාගි වෙමිනි.
මෙම වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජ ගත වු වයස අවුරුදු දහඅටට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත සහ අධිඅවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනා ගත් දරුවන් සඳහා නිවාස ඉදිකිරීමට මිලියන දෙකක ආධාර මුදලක් පිරිනමනු ලබන අතර අද දිනයේදී බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත එම මුදල් අධාර පිරිනමනු ලැබීය.
