"ශිරන්ති ඉන්න තැන කියන්න බෑ! - මනෝජ් ගමගේ

"ශිරන්ති සිංගප්පූරුවේ ඉන්න තැන කියන්න බෑ! - නීතිඥ මනෝජ් ගමගේ

by Staff writer 17-09-2026 | 9:23 PM

COLOMBO(News1st) -  ශිරන්ති රාජපක්ෂ සිටිනා ස්ථානය හෙළිදරව් කිරීමට පවුලේ සාමාජිකයින් සූදානමක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ පවසයි.

ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂට අවශ්‍ය රැකවරණ ලබාදීම සදහා ඇය ඉක්මනින් ආපසු පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන 24 වනදා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී තිබේ.

ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඊයේ අලුයමයි.

මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට පිටව ගිය බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ පැවසුවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කල කැදවීම ඊයේ රටින් පිටව යන අවස්ථාවේ ගුවන්තොටුපොලේදි ලැබුණු බවද මනෝජ් ගමගේ ප්‍රකාශ කළේය.

ශිරන්ති රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය සිරිලිය සවිය සංවිධානයේ ගණු දෙනු පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාවළියක් සිදු වේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙන්නැයි ඇයට දින ලබාදී ඇත්තේ ඒ අතරින් එක් විමර්ශනයක් සඳහායි.

2011 - 12 කාලසීමාවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර සදහා සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සදහා සිරිලිය සවිය ගිණුමට රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන තිබේ.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ එම ස්කෑන් යන්ත්‍රය අදාළ මුදලින් මිල දී ගත් බවට මෙතෙක් තහුවරු වී නොමැති බවයි.

නමුත් චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑන් යන්ත්‍රයක් සිරිලිය සවිය හරහා පසුව රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදී තිබේ.

එවක අදාළ රාජ්‍ය බැංකුවේ සභාපතිවරයාගෙන්ද මේ වනවිට මෙම ගනුදෙනුවට අදාළව ප්‍රකාශ සටහන් කර අවසන්.