ශිරන්ති රාජපක්ෂ අද(13) අධිකරණය හමුවට.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ අද(13) අධිකරණය හමුවට.

by Staff writer 13-10-2026 | 9:00 AM

COLOMBO(News1st) -  කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ශිරන්ති රාජපක්ෂ පසුගිය 7 වැනිදා අත් අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100 ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් ය.

එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ අද(13) දිනයේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පැවසුවේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

වෛද්‍ය නිර්දේශ මත අද දිනයේ ශිරන්ති රාජපක්ෂව අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකිවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

2010 වසරේ සැකකාර ශිරන්ති රාජපක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් 'සිරිලිය සවිය' ගිණුමට බැරකර එම මුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළවද ඇයට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

ඊට අදාළව තමා අත්අඩංගුවට ගතහොත් පෙර ඇපයක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිරන්ති රාජපක්ෂ ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම, මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(12) නිෂ්ප්‍රභ කළ හ.