2026-10-13 දිනට අදාළ කැබිනට් තීරණ

2026-10-13 දිනට අදාළ කැබිනට් තීරණ

by Chathurika Jayasundara 13-10-2026 | 3:25 PM

COLOMBO(News1st) - ආසියා-පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම

- ශ්‍රී ලංකාවේ තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පද්ධතියේ ප්‍රතීතනය සහ සහතික කිරීමේ මූලික මූලධර්ම ඉදිරියට ගෙන යාමේ අරමුණින් පිලිපීනයේ පිහිටි ආසියා-පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර මින් පෙර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබ ඇත. වසර 05ක කාලයක් සඳහා අත්සන් කරන ලද එම අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය මේ වන විට ඉකුත් වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. වෘත්තීය අධ්‍යාපනයට අදාළව කලාපීය සබඳතා සහ සහයෝගය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයේ උන්නතිය සඳහා ආසියා‑පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාවේ සහාය ලබා ගැනීම, වෘත්තීය පුහුණුව සපයන ආයතන සඳහා ආසියා‑පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාවේ ප්‍රතීතනය සහ සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව සඳහා ප්‍රතීතන ජාතික සම්බන්ධීකාරකවරයෙකු පත් කිරීම, අනාගත ප්‍රතීතන ක්‍රියාකාරකම් සඳහා ආසියා‑පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටි සහ ප්‍රමිතීන් පිළිබඳව පුහුණුව ලබා ගත හැකි දේශීය ප්‍රතීතනකරුවන් හඳුනාගැනීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මඟින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජලසම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන (උප වැඩසටහන 2) සඳහා මූල්‍ය පහසුකම් සලසා ගැනීම

- ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම පිණිස උප වැඩසටහන් 05ක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම සඳහා 2026-03-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් යොදා ගනිමින් ජලසම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - උප වැඩසටහන 2 ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජල සම්පත් කළමනාකරණයේ පවතින දුර්වලතා, මෙහෙයුම් හා මූල්‍ය අකාර්යක්ෂමතා, දේශගුණික අවදානම් වෙත නිරාවරණය වීම, සමාජයේ සියලු කොටස් ඇතුළත් කර ගැනීමේදී පවතින අඩුපාඩු හා පාර්ශ්වකරුවන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම යනාදී අභියෝගයන් පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග මඟින් විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීම එම වැඩසටහන මඟින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වශයෙන් එකී ප්‍රතිපත්ති පාදක මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන එම මාර්ග නඩත්තු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම

- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගනිමින්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන යටතේ නඩත්තු කරනු ලබන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට කටයුතු කිරීම සහ එම මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා කාර්යමණ්ඩල ලබා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වය යටතේ කමිටුවක් පත් කිරීම පිණිස 2026-07-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, වෙනත් ආයතන විසින් බලධාරිත්වය දරන මාර්ග ජාතික මහාමාර්ග වශයෙන් උත්ශ්‍රේණිගත කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වල මූලික සුදුසුකම්, තාක්ෂණික විභවයන් සහ අදාළ නිර්ණායක පිළිබඳව පරීක්ෂා කර බලා මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග පවරා ගැනීමේ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මත පදනම්ව එවැනි මාර්ග ජාතික මහාමාර්ග ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නාකොළගනේ අභයභූමිය ප්‍රකාශයට පත් කිරීම

- කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කාලයක් තිස්සේ වනාන්තරව පැවති ඉඩම් අක්කර 1,500කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික භෝග වගාවන්, ඛනිජ කැණීම් සහ පස් කැපීම වැනි කාර්යයන් සඳහා යොදා ගනු ලැබ තිබිණි. එහිදී සිදු කරනු ලැබ ඇති කැලෑ එළිකිරීම් හේතුවෙන් පාරිසරික හානි සිදු වී ඇති බවත්, වයඹ පළාතේ අලි‑මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවත් දක්වමින් එම ක්‍රියාවන් අත්හිටුවන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස එළිකරනු ලැබ ඇති හෙක්ටයාර 55ක ඉඩම් ප්‍රමාණය ඇතුළත්ව අවශේෂ කැලෑ කොටස් ඇතුළත් සම්පූර්ණ ප්‍රදේශය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ අභයභූමියක් ලෙස හෝ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස හෝ ප්‍රකාශයට පත් කළ යුතු බවට නියෝග කර තිබේ. එකී නියෝගයට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඒකාබද්ධ සමීක්ෂණයක් මඟින් හෙක්ටයාර 682ක ඉඩම් ප්‍රමාණයක් වනජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනා ගෙන ඇත. ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව ඇතිව ඒ ආසන්නයේ පිහිටි පාලුකඩවල වැවෙහි උපරිම ජල සීමාව ද ඇතුළත් කරමින්, එකී හෙක්ටයාර 682ක භූමි ප්‍රදේශය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන පරිදි නාකොළගනේ අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉහළ වාණිජකරණ විභවයක් සහ විශාල පරිමාණ ප්‍රාග්ධන අවශ්‍යතා සහිත පර්යේෂණ සහ සංවර්ධන නවෝත්පාදන වාණිජකරණය සඳහා වූ සම‑මූල්‍යකරණ යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීම

- පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය මඟින් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන නවෝත්පාදන ඵලදායී ලෙස වාණිජකරණය කරා යොමු කිරීම පිණිස දැනට ප්‍රදාන සහ සහනදායී ණය මූල්‍යකරණයන් සලසා දීමට පියවර ගනු ලබයි. ඒ අනුව, එහි ව්‍යාපෘති කාණ්ඩය 01 යටතේ ඉහළ වාණිජකරණ විභවයක් සහ සුළු පරිමාණයේ ප්‍රාග්ධන අවශ්‍යතා සහිත පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති වාණිජකරණය සඳහා සම්පූර්ණ ප්‍රදානයක් ලෙස රුපියල් මිලියන 10ක් දක්වා ලබා දීම සිදු වේ. ව්‍යාපෘති කාණ්ඩය 02 යටතේ මධ්‍ය පරිමාණයේ ප්‍රාග්ධන අවශ්‍යතා සහිත පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති වාණිජකරණය සඳහා රුපියල් මිලියන 10ක් දක්වා වූ ප්‍රදානයක් ද සමඟ රුපියල් මිලියන 40ක් දක්වා 3%ක සහනදායී පොළියක් සහිතව බැංකු හරහා අරමුදල් සැපයීම සිදු කරනු ලබයි. ඊට අමතරව, ඉහළ වාණිජකරණ විභවයක් සහිත සහ විශාල පරිමාණ ප්‍රාග්ධන අවශ්‍යතා සහිත පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති වාණිජකරණය සඳහා රුපියල් මිලියන 500ක් දක්වා සම‑මූල්‍යකරණ යෝජනා ක්‍රමයක් ව්‍යාපෘති කාණ්ඩය 03 වශයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. යෝජිත මූල්‍යකරණ ක්‍රමවේදය යටතේ, රුපියල් මිලියන 10ක ප්‍රදානය සහ රුපියල් මිලියන 40 දක්වා වූ 3%ක සහනදායී පොලියක් යටතේ වන ණය මුදලට අමතරව තවදුරටත් වන ප්‍රාග්ධන අවශ්‍යතාව ආවරණය කරමින් උපරිමය රුපියල් මිලියන 450ක් දක්වා වූ ණය මුදලක් 5%ක පොලී සහනාධාරයක් සහිතව වාණිජ බැංකු හරහා ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, යෝජිත මූල්‍යකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් මඟින් උපායමාර්ගිකව විවිධාංගීකරණය කිරීම

- 1968 වර්ෂයේදී පිහිටුවන ලද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් පෙළපොත්, රජයේ නිල ප්‍රකාශන සහ රාජ්‍ය ආයතනවල ලේඛන මුද්‍රණය කිරීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි. මෑත වසරවලදී අඛණ්ඩව මූල්‍ය ලාභ වාර්තා කර ඇතත්, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සතුව පවතින යන්ත්‍රෝපකරණ දිරාපත් වීම සහ මුද්‍රණ තාක්ෂණය යල් පැන ගොස් තිබීම හේතුවෙන් එහි නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ පිරිවැය තරගකාරිත්වය සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ අනුව, සංස්ථාවේ ස්ථාවරත්වය දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාර ආකෘතිය හා තාක්ෂණික හැකියාවන් ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීන තාක්ෂණයෙන් මෙහෙයවන උසස් ආරක්ෂක මුද්‍රණ ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා 'Smart Print Initiative' නමින් උපායමාර්ගික විවිධාංගීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව රාමුවක් යට‌තේ යෝජිත විවිධාංගීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, වැඩහල් සහ ආපනශාලාවක් ඉදි කිරීම

- රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් 600 දෙනෙකුහට නේවාසික පහසුකම් සහිත ශිෂ්‍ය නේවාසිකාගාරයක්, නවීන ඉගැන්වීම් වැඩහල් සහ ආසන 300කින් සමන්විත ආපනශාලාවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-01-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, සැලසුම් හා ප්‍රසම්පාදන කටයුතුවල සිදු වූ වෙනස්කම්, ආර්ථික අර්බුදය සහ වෙනත් විවිධ කරුණු හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති අතර, රජයේ ප්‍රාග්ධන වියදම් සීමා කිරීමේ ප්‍රතිපත්තියට අනුගතව 2022 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම්, වැඩහල් සහ ආපනශාලා පහසුකම් ප්‍රමාණවත් නොවීම මත සිසුන්ගේ සුබසාධනය හා අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එබැවින්, රුපියල් මිලියන 3,380ක සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එකී ව්‍යාපෘතිය 2027‑2029 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය (Re‑MSME Plus) යටතේ අතිරේක මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම


- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය (Re-MSME), ක්‍රියාත්මකව පැවති තෝරාගත් තවත් ණය වැඩසටහන් කිහිපයක් ද ඒකාබද්ධ කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය (Re‑MSME Plus) මෙම වර්ෂය තුළදී ක්‍රියාත්මක කරනු ලැබ ඇත. දිට්වා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාර නගා සිටුවීම පිණිස 2026 අගෝස්තු මාසය අවසන් වන විට රුපියල් මිලියන 4,276.50කට අදාළ ව්‍යාපෘති සඳහා සහ අනෙකුත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් රුපියල් මිලියන 25,926.84කට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. Re‑MSME Plus ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 30,000ක ප්‍රතිපාදන සලසා දී තිබූ අතර, මේ වන විට එම සමස්ත මුදල සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් උපයෝජනය කරනු ලැබ ඇත. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් අභ්‍යන්තර ඇගයීම් ක්‍රියාවලිය අවසන් කර, ණය අනුමැතීන් ලබා ගෙන, ණය මුදා හැරීමට සූදානම් තත්ත්වයේ පවතින ව්‍යාපෘතිවලට අදාළව තවදුරටත් රුපියල් මිලියන 7,500ක පමණ ප්‍රතිපාදන අවශ්‍යතාවක් පවතින බව වාර්තා කර තිබේ. ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමය යටතේ තවදුරටත් ණය මුදල් ලබා දීමට හැකි වන පරිදි රුපියල් මිලියන 7,500ක අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2027 පාසල් වර්ෂය සඳහා පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීම


- පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, 2027 වර්ෂය සඳහා එම වැඩසටහන යටතේ පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල ළමුන් 1,000,000ක් සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 6,000/-ක පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ඍජුව ප්‍රේෂණය කිරීමටත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනා ගත් ළමුන් 500,000ක් සඳහා රුපියල් 6,000/-ක් වටිනා වචුචර්පත් ඉහත වැඩසටහන යටතේ හිමිගන්වනු ලැබීමටත් අවශ්‍ය පියවර ගනු ලබන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණකාශ්‍රිත දිනුම් ඇදීමේ හා ලොතරැයිපත් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

- සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත වසරක කාලයක් සඳහා පරිගණක ආශ්‍රිත ලොතරැයිපත් (ලග්න වාසනාව, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, සසිරි, ශනිදා, සුපිරි ධන සම්පත, නව දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට් පත හා ජය සම්පත) නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය හා සැපයීම සහ E‑Lottery සැපයීම පිණිස වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ලිට්‍රො ගෑස් ලංකා සමාගම සඳහා 2027 වර්ෂය වෙනුවෙන් එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- ලිට්‍රො ගෑස් ලංකා සමාගම වෙත එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%)ක ප්‍රමාණයක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s OQ Trading Limited වෙත 2027-01-01 වන දින සිට මාස 12ක කාලයක් සඳහා, එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%)ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව (අවම වශයෙන් මෙට්‍රික්ටොන් 336,000ක සහතික කළ ප්‍රමාණයක් සහිතව) සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිල + මෙට්‍රික්ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93ක මුළු වටිනාකමකට (රක්ෂණය, ගැල්කුලී සහිත (CIF) මිලකට) ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


 


කැලණි ගංගා ද්‍රෝණියේ පොම්පාගාරය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජයෙන් ප්‍රදාන ආධාරයක් ලබා ගැනීම

- කැලණි ගංගා ද්‍රෝණියේ පොම්පාගාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් බිලියන 2.179ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.56ක) ප්‍රදාන ආධාරයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. යෝජිත පොම්පාගාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් වත්තල හා පෑලියගොඩ ප්‍රදේශ ආවරණය වන මුදුන් ඇළ උප‑ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම, තිරසර නාගරික සංවර්ධනයට පහසුකම් සැලසීම සහ ජාතික ආර්ථික කටයුතු සඳහා සංවර්ධනය කළ හැකි ඉඩම් බිහි කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම පිණිස ජපාන රජය සමඟ හුවමාරු සටහන් අත්සන් තැබීමටත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


'නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය සහාය ලබා ගැනීම


- 'නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය ලබා ගැනීම පිණිස සම්මුති සාකච්ඡා පැවැත්වීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බලය පැවරීමට 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ඵලදායී තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා වන ආංශික ක්‍රමෝපාය සැලැස්ම වෙනුවෙන් සහායවීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පහසුකමක් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ 2026-08-25 දින විධිමත් ණය සාකච්ඡා පැවැත්වීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත. යෝජිත ණය පහසුකම, ප්‍රතිඵල පාදක මූල්‍යකරණය ක්‍රමවේදය යටතේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 50කින් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 50කින් ද සමන්විත වේ. ඒ අනුව, 'නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිඵල පාදක මූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-


මහනුවර‑යාපනය මාර්ගය (A009) පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම (කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා)

- ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මහනුවර‑යාපනය මාර්ගයේ කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා වන මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 08ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s Tudawe Brothers (Pvt) Ltd., වෙත රුපියල් බිලියන 1.070ක (අවිනිශ්චිතතා අරමුදල් ඇතුළුව සහ එකතු කළ අගය මත බදු රහිතව) මුදලකට එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී


ඒකාබද්ධ එක් සෞඛ්‍ය වසංගත සූදානම සහ ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය

- බෝවන රෝග පාලනය සහ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ප්‍රගතියක් අත් කර ගනු ලැබ ඇත. එමෙන්ම, එන්නත් මඟින් වළක්වා ගත හැකි රෝග පාලනය කිරීම සහ වැළැක්වීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණ අත් කර ගෙන ඇති අතර, එන්නත් ආවරණය 95% කට වඩා වැඩි මට්ටමක පවතී. පරිත්‍යාගශීලි රටවල්, සම ආයෝජකයින්, පදනම් ආයතන සහ සිවිල් ආයතන අතර සහයෝගි හවුල්කාරිත්වයක් වන වසංගත අරමුදල වෙතින් ප්‍රදානයක් ලබා ගැනීම පිණිස ගිවිසුමකට 2025-03-20 වන දින ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇත. එකී ගිවිසුමේ විධිවිධාන අනුව ප්‍රදානයට අදාළ කටයුතු 2028-03-31 දින වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කළ යුතු වේ. කොවිඩ් 19 වසංගතය සහ සත්වයන්ගෙන් මිනිසාට බෝවන අනෙකුත් හදිසි සෞඛ්‍ය තත්ත්වයන් මත ඇති වන වසංගත තර්ජන පිළිබඳව ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමේදී මානව සෞඛ්‍ය අංශය සහ සත්ව සෞඛ්‍ය අංශය යන අංශ දෙකෙහිදීම ජාතික ප්‍රතිචාර දැක්වීමේ අඩුපාඩු සහ පරතරයන් පෙන්නුම් කර තිබේ. එකී පරතරයන් ආමන්ත්‍රණය කිරීම සඳහා යෝජිත ක්‍රියාකාරකම් වසංගත අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර, අරමුදල් සපයන සංවිධාන සමඟ 2026‑2028 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කරනු ලැබ ඇත. එම සැලැස්ම යටතේ ශ්‍රී ලංකා රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පිහිටුවීම සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාතික මහජන සෞඛ්‍ය විමර්ශන රසායනාගාරයේ භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන ප්‍රධාන යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාකාරකම් ද ඇතුළත් වේ. රෝග පාලන කිරීමේ සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පිහිටුවීම ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් මූල්‍යකරණය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, සෞඛ්‍ය වසංගත සහ ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සලසා ගනු ලබන රුපියල් මිලියන 4,785ක ප්‍රදානයකින් සහ ශ්‍රී ලංකා රජය විසින් සලසනු ලබන රුපියල් මිලියන 646කින් යුත් රුපියල් මිලියන 5,431ක මුළු ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් යෝජිත වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාතික මහජන සෞඛ්‍ය විමර්ශන රසායනාගාරයේ භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළුව හඳුනාගනු ලැබ ඇති ක්‍රියාකාරකම් 35ක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත

- රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, 2024 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට හැකි වී නොමැත. ඉන් අනතුරුව, එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා නිලධාරින්ගෙන් සහ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. එකී කමිටුව විසින් එම පනත් කෙටුම්පත සඳහා සිදු කළ යුතු සංශෝධනයන් හඳුනා ගනු ලැබ ඇති අතර, යෝජිත සංශෝධනයන් ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, 2024-08-02 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අත්හිටුවීමටත්, විෂය ප්‍රවීණයන්ගේ කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-


1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම


- සමූපකාර සමිතිවල ක්‍රියාකාරිත්වය වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන්ට අනුගත වන පරිදි සහ පොදු නීතියෙහි සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව සලකා බලමින් 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් සමූපකාර සමිති, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සමූපකාර සේවකයන් හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ගේ ද අදහස් හා යෝජනා මෙන්ම එම කොමිෂන් සභාව විසින් ලද අත්දැකීම් ද පාදක කරගනිමින් යෝජිත සංශෝධනයන් ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී මූලික කෙටුම්පත මත පදනම්ව, 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම


- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි දිල්කි වත්සලා මාරඹගේ මහත්මිය පූර්ණකාලීනව වැඩබැලීමේ පදනම මත කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඒ මහත්මිය 2026-01-01 දින සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබ ඇත. ඒ අනුව, දිල්කි වත්සලා මාරඹගේ මහත්මිය කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.