2026-10-20 දිනට අදාළ කැබිනට් තීරණ

2026-10-20 දිනට අදාළ කැබිනට් තීරණ

by Staff writer 20-10-2026 | 3:46 PM

COLOMBO(News1st) - සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2026/27 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීම

- විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනයට බාධා මතු වන සිසුන්ට එම බාධක මග හරවා ගෙන අඛණ්ඩව අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණින් යුතුව සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ කර ඇත. රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්හට එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතී. එකී සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් අතර දැනට බලාත්මකව පවතින ගිවිසුම, 2026-09-01 දින සිට 2027-08-31 දින දක්වා වන කාලසීමාවට අදාළව පහත සඳහන් නව ප්‍රතිලාභ ද ඇතුළත් කරමින් සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලබන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

කර්ණශංඛ උපකරණ (Hearing Accessories) අලුත්වැඩියා කිරීමට සහ ඒ වෙනුවෙන් වැයවන සේවා ගාස්තුව සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.

Chronic Kidney Disease සහ Chronic Inflammatory Arthritis යන රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්හට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.

Malignancy Screening Test for Skin Cancer and Post‑transplant Lymphoproliferative Disorder (PLTD), Screening Test for Osteoporosis සහ Screening Test for Hepatitis B, Hepatitis C හා HIV යන පරීක්ෂණ සඳහා වැය වන වියදම් වෙනුවෙන් රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.

අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග ලැයිස්තුවේ පවතින 'Cancer Treatment' යන්න 'Cancer Treatment and related Testing' ලෙස සංශෝධනය කිරීම සහ හදිසි අනතුරක් හේතුවෙන් සිදු කළ යුතු වන උකුල්, උරහිස් සහ දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය සඳහා සිදු කරනු ලබන ප්‍රධාන ශල්‍යකර්ම සහ PET Scan සඳහා දරනු ලබන වියදම් අසාධ්‍ය රෝග කාණ්ඩය යටතේ ආවරණය කිරීම.

පාසල තුළදී හෝ ඉන් පිටතදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මඟින් සංවිධානය කරනු ලබන හා අධ්‍යාපන බලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වලදී (අධ්‍යාපන චාරිකා සහ ක්‍රීඩා උත්සව ආදිය) සිදු වන හදිසි අනතුරු හේතුවෙන් වන සිසු ජීවිත හානි සඳහා හදිසි අනතුරු කාණ්ඩය යටතේ රුපියල් 100,000/-ක මුදලක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව මූල්‍ය ආයතන සඳහා වන ණය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම

- 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යවසායයන් සඳහා රජයේ ණය ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් අවදානම තක්සේරු කිරීම පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කළ ණය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සහ ස්වකීය ව්‍යාපාරය පාර්ශ්වික වශයෙන් හෝ පූර්ණ වශයෙන් ණයට දීම‌ හෝ ණයට ගැනීම සිදු කරන මූල්‍ය ආයතන, රාජ්‍ය ණය කළමනාකරණ පනතේ රාජ්‍ය ව්‍යවසාය යන අර්ථ දැක්වීමට ඇතුළත් නොවේ. එබැවින්, එම ආයතනවල සුවිශේෂී ස්වභාවය, ඉහළ මට්ටමේ ණය මූල්‍යකරණය, ද්‍රවශීලතා හා වෙළෙඳපොළ අවදානම්, නියාමන අවශ්‍යතා සහ ඒවායේ විභව පද්ධතිමය වැදගත්කම සැලකිල්ලට ගෙන, රජයේ ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් එකී ආයතනවල ණය අවදානම තක්සේරු කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලයලත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මූල්‍ය ආයතන වෙනුවෙන් ලබා දී ඇති ණය ශ්‍රේණිගත කිරීම් අදාළ කර ගනිමින්, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් මූල්‍ය ආයතන සඳහා වන ණය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රමවේදය සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ණය අවදානම් තක්සේරු කිරීම සඳහා එකී ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 


ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව වෙත පැවරීම


- ශ්‍රී ජයවර්ධනපුර මාවතේ සිට බැද්දගාන ජෛව විවිධත්ව උද්‍යානය හරහා බැද්දගාන මාර්ගයට සම්බන්ධ වන හරස් මාර්ගය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කර ඇති අතර, එකී මාර්ගය නිපෝන් මාවත ලෙස හඳුන්වනු ලැබේ. එම මාර්ගයේ මහින්දාරාම විහාරස්ථානයේ සිට බැද්දගාන දක්වා වූ නිපෝන් මාවතෙහි කොටසක් නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා නිදහස් දීමනා පත්‍රයක් මඟින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව වෙත පවරා දීමට 2008-07-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර මාවතේ සිට ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානය දක්වා වූ නිපෝන් මාවතෙහි ඉතිරි කොටස නිසියාකාරව නඩත්තු කිරීම සඳහා වන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන, එම මාර්ග කොටස ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව වෙත පැවරීමට 2025-03-12 දින පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ ද අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, මාර්ගය නඩත්තු කර නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අක්කර 02 රූඩ් 02 පර්චස් 31ක බිම් ප්‍රමාණයකින් යුත් අදාළ මාර්ග කොටස, ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව වෙත නිදහස් දීමනාවක් ලෙස පැවරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතර, නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රය, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැවරීම

- මාතර, නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකරනු ලැබ ඇති ගොඩනැගිලි සහ එම පරිශ්‍රය අධ්‍යාපනික කාර්යයක් හෝ වෘත්තීය පුහුණු කාර්යයක් සඳහා භාවිත කිරීමේ හැකියාව සොයා බැලීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් ලබා දීමට 2026-06-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, මේ වන විට කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිලි පරිශ්‍රයන් කිහිපයක පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා අඩක් නිම කරනු ලැබ ඇති වර්ග අඩි 200,000ක ගොඩනැගිලි පරිශ්‍රයකින් සමන්විත අක්කර 11ක භූමි ප්‍රමාණයක පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය එම විශ්වවිද්‍යාලය වෙත පැවරීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, මාතර, නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රය, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි සේවා ප්‍රදේශය සඳහා අපජල පිරිපහදු පද්ධති දෙකක් (02) ඉදිකිරීමේ ව්‍යාපෘතිය

- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සමාගමේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පාස් (පෞද්ගලික) සමාගම විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි සේවා ප්‍රදේශය පවත්වා ගෙන යනු ලබයි. එම සේවා ප්‍රදේශයේ දැනට පවතින අපජල පිරිපහදු පද්ධතිවල ධාරිතාව ප්‍රමාණවත් නොවන බව හඳුනාගනු ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එමඟින්, දිනකට ඝනමීටර 200 බැගින් වන ධාරිතාවයෙන් යුත් නව අපජල පිරිපහදු පද්ධති දෙකක් (02) ඉදි කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 562.04ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වැලිපැන්න සේවා ප්‍රදේශය සඳහා අපජල පිරිපහදු පද්ධති දෙකක් (02) ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

- කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2019 වර්ෂයේ ආරම්භ කර ඇති නමුත්, 2020 වර්ෂයේ ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය සහ ඉන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතියේ සංරචක පූර්වයෙන් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීම අඩාල වී තිබේ. එබැවින්, ව්‍යාපෘතියේ ඉතිරි කාර්යයන් සඳහා නව ව්‍යාපෘති සැලැස්මක් සහ ඊට අනුකූල පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කරනු ලැබ ඇත. නව ව්‍යාපෘති සැලැස්ම අනුව ව්‍යාපෘතියේ කාර්යයන් පහත සඳහන් ප්‍රධාන සංරචක යටතේ රුපියල් මිලියන 15,077.82ක ඇස්තමේන්තුවක් මත වසර 03ක කාලසීමාවක් තුළදී ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

මේ වන විට ඉදිකිරීම් කරනු ලබන සැළලිහිණි මාවත ඇළ මාර්ගය (මීටර 3,250) ඉදි කිරීම අවසන් කිරීම හා දහම්වෙල ඇළ මාර්ගය (මීටර 3,868) ඉදි කිරීම.
ව්‍යාපෘතියේ ජල පොකුණු/ජල රැදවුම් ප්‍රදේශ සැකසීම වැනි විශේෂිත කාර්යයන් සිදු කිරීම.
පස්සැන්න ඇළ මාර්ගය (මීටර 4,475) හා දඬුතොට ඇළ මාර්ගය (මීටර 650), දඬුතොට දියගුලු දොරටුව පිළිසකර කිරීම සහ තත්පරයට ඝනමීටර 1 බැගින් වූ වැසි ජලය පොම්ප කළ හැකි ජංගම පොම්ප 03ක් ස්ථාපිත කිරීම.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යෘපෘති ප්‍රදේශය තුළ පිහිටි අත්‍යවශ්‍යයෙන්ම අත්පත් කර ගත යුතු ඉඩම් කොටස් අත්පත් කර ගැනීම සහ ඒ හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් වෙත ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපාය මාර්ගවලට සිදු විය හැකි බලපෑම් ද සැලකිල්ලට ගෙන, වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1,015ක ඇස්තමේන්තුවක් සහිත සහන දීමනා යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීම.


රත්නපුර නව නගරය තුළ රාජ්‍ය නිලධාරින් සඳහා නිවාස ඒකක 200කින් යුත් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය


- ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-10-14 දින පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කොලින් ක්‍රසන්ට් ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාස වෙනුවට රත්නපුර නව නගරයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක රජයේ නිලධාරින් සඳහා නිවාස ඒකක 200කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. එසේම, දැනට රජයේ නිල නිවාස පිහිටා ඇති රජයට අයත් ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී අනාගත සංවර්ධන කටයුතු සඳහා වඩාත් ඵලදායී අයුරින් යොදා ගැනීමට ද තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 5,886.97ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අවුරුදු 05ක කාලසීමාවක් තුළ අදාළ නිවාස 200කින් යුත් නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

----


ශ්‍රී ලංකා පොලීසිය සඳහා සිංගල් කැබ් රථ 200ක් මිල දී ගැනීම


- ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළ තුළින් මිල දී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Diesel and Motor Engineering PLC වෙතින් එක් සිංගල් කැබ් රථයක් රුපියල් 4,785,000/- ක (එකතු කළ අගය මත බදු රහිත) මිලකට සිංගල් කැබ් රථ (TATA YODHA PICKUP) 200ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2026 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි


- දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරී පසුබිමක් සහතික කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, මගී මෝටර් රථ සඳහා භාවිත කරනු ලබන ටයර් සහ ත්‍රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් යන ආනයනික ටයර් වර්ග සඳහා ආනයන පරීක්ෂණ ක්‍රමවේදය එනම්, ශ්‍රී ලංකා ප්‍රමිති නියම කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එම නිර්දේශය සැලකිල්ලට ගෙන, මගී මෝටර් රථ ටයර් (HS කේතය 4011.10.90) ආනයන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1212 සහ ත්‍රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් (HS කේතය 4011.90.10) ආනයනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1347 නියම කරමින්, අංක 2508/27 දරන 2026-10-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් දැනට බලාත්මක රෙගුලාසි සංශෝධනය කිරීම පිණිස '2026 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි' පනවනු ලැබ තිබේ. ඒ අනුව, එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනත් කෙටුම්පත


- රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා වන ජාතික නියෝජිතායතනය පිහිටුවීම සහ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම හා ඊට පහසුකම් සැලැස්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසමින් නව පනතක් හඳුන්වා දීම පිණිස 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර, නීතිපති විසින් එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නෛතික නිෂ්කාශනය ලබා දී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම

- ආයුර්වේද, සිද්ධ, යුනානි, දේශීය චිකිත්සා යන වෛද්‍ය ක්‍රමවලින් සමන්විත ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය නියාමනය, සංවර්ධනය හා පාලනය, 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ විධිවිධාන අනුව සිදු කෙරේ. අදාළ පනත සඳහා අවශ්‍යතාව අනුව වරින්වර සංශෝධන සිදු කර ඇති නමුත්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු කාර්යයන් ඵලදායී ආකාරයෙන් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම, එම ක්ෂේත්‍රයේ නියාමන කාර්යය වඩාත් විධිමත් කිරීම, දේශීය ඖෂධ වර්ග අපනයනයට අදාළ බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීම, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය හා තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි කාලීන වශයෙන් යෝග්‍ය සංශෝධන හඳුන්වා දෙමින් ආයුර්වේද පනත තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනා ගනු ලැබ තිබේ. එකී කරුණු මත පදනම්ව, 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත සංශෝධනය කිරීම

- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කාර්යභාරය සහ පරිපාලන සැකැස්ම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයන් ඇතුළත් කරමින්, 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස 2018-08-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට සිදු කරමින් පවතින අතර, එකී සංශෝධන කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුබසාධක අරමුදලේ කාර්යයන් ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්‍රියාත්මක කිරීම


- ටවර් හෝල් රඟහල පදනම මඟින් පවත්වා ගෙන යනු ලබන ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් වන ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුබසාධක අරමුදලේ කටයුතු 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව අවසන් කළ යුතුව ඇත. එබැවින්, එම අරමුදල යටතේ ආයෝජනය කර ඇති රුපියල් මිලියන 80.8ක මුදල ටවර් හෝල් රඟහල පදනම ගිණුම මඟින් ආයෝජනය කිරීමටත්, එමඟින් උපයන ආදායම යොදා ගනිමින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා මාසික ජීවනාධාර ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් පියවර ගනු ලබන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.


ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම


- ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව සුවිශේෂී මට්ටමේ දක්ෂතා පවතින නමුත්, එම දක්ෂතා තිරසර ජාත්‍යන්තර ක්‍රීඩා කාර්යසාධනයක් බවට පරිවර්තනය කිරීමේදී ඒකාබද්ධ සහ විද්‍යාත්මක පදනමකින් යුත් ඉහළ කාර්යසාධන ක්‍රීඩා පද්ධතියක් නොමැති වීම, ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලදී ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බාධකයක් වී ඇති බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඉහළ කාර්යසාධන මූලික පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සහ 2028, 2032 සහ 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය ඉහළ නැංවීමට හැකි වන අයුරින් ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය රුපියල් මිලියන 3,980ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2027 වර්ෂයේ සිට වසර 03ක කාලරාමුවක් තුළ දියගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. යෝජිත දියගම ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලබන තෙක්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් හඳුනාගනු ලබන විශිෂ්ට මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය ටොරින්ටන් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂාගාර ගොඩනැගිල්ල සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය සතුව පවතින යටිතල පහසුකම් භාවිත කරමින් ආරම්භ කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


 


අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම


- 2026-10-18 දින අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනරාමාධිපති, සිරි චන්දවිමල වංශාලංකාර, චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්මවාගීශ්වර, ශාසනශෝභන, අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2026-10-21 දින ගැටඹේ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා; සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.