සොයිසාපුර වෙඩි තැබීම ගැන පොලීසියෙන් සැකයක්...

සොයිසාපුර වෙඩි තැබීම, අපරාධ කල්ලි අතර ඇතිව තිබෙන ගැටුම ප්‍රතිඵලයක්, පොලීසිය සැක කරයි..

by Staff writer 21-10-2026 | 10:03 AM

COLOMBO (News 1st) - මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ඇතිව තිබෙන ගැටුම ප්‍රතිඵලයක් බවට, පොලීසිය සැක පළ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසුවේ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඊයේ (20) රාත්‍රියේ සිදුවූ එම වෙඩිතැබීමෙන් මියගියේ 49 හැවිරිදි හෝටල් හිමිකරුවෙකි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇත්තේ හෝටලය තුළදීම බව පොලිසිය සඳහන් කළේ ය.

ඉන් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේ ය.

2020 වසරේදීද අදාළ හෝටලයට වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේදී යතුරු පැදියක් හරස් කර අහසට වෙඩි තබා එය පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය පැවසුවේ ඊයේ (20) රාත්‍රියේ  මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් එය පැහැර ගෙන ගොස් ඇති බවයි.

යතුරු පැදිය කැස්බෑව පොලිස් වසමේ සිද්ධමුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුව සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.