රඛිත ,චරිත්, අරුණගේ දේපළ කිහිපයක් අත්හිටුවේ.

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ ශ්‍රි චතුරංගට අයත් බැංකු ගිණුම් ඇතුළු දේපල කිහිපයක් පරිහරණය අත්හිටුවේ.

by Nadeeshan Meedin 29-10-2026 | 7:10 PM

COLOMBO(News1st) - හරක් කටා නැමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ගත් බවට චෝදනා එල්ල වන රඛිත රාජපක්ෂ, සමගි ජන බල වේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංගට අයත් බැංකු ගිණුම් ඇතුළු දේපල කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම පියවර ගෙන තිබේ.

අල්ලස් කොමිසම පැවසුවේ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අයත් බැංකු ගිණුම් කිහිපයක් හා සුඛෝපභෝගී වාහන තුනක් පරහරණය අත්හිටුවීමට  පියවර ගත් බවයි

සමගි ජන බල වේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහට අයත් හොරණ පිහිටි සුවිසල් නිවසක් ද පරිහරණය අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංගට අයත් වාහනයක් ද පරිහණය අත්හිටවූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

එම බැංකු ගිණුම් හා දේපල අත්හිටුවා ඇත්තේ  අපරාධයකින් උත්පාදිත දේ පිළිබදව පනතේ විධිවිධාන වලට අනුවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් සිදු කරන විමර්ෂණයකට අදාළව එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ නාවල පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත්තේ, අදාළ අත්හිටුවීමේ නිවේදනය භාරදීම වෙනුවෙන්

කෙසේ වෙතත්, ඒ වනවිට ඔහු නිවසේ නොසිටි බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.

පොලිස් භාරයේ සිටින  'හරක් කටා'  ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම ඇතුළු විමර්ශන සඳහාත් සහය දීමට හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1200 ක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ, සමගි ජන බල වේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග චෝදනා එල්ල වනවා.

ඒ සම්බන්ධයෙන්, ඔවුන් පසුගිය ජුනි 25 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකකරුවන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, සැකකරුවන් තිදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කරමින් පසුගිය ජුලී 28 වැනිදා ඇප නියම කළේය.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරුවන් හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000 ක අල්ලස් ඉල්ලා, පසුව එය ලක්ෂ 3000ක් දක්වා අඩුකර අත්තිකාරම් ලෙස ලක්ෂ 1200 ක් ලබා ගෙන ඇති බවයි.