ශෙවාන් ඩැනියල් ABU උප සභාපති ධුරයට

මෙරට ඉතිහාසයේ පළමු වරට ලොව විශාලතම මාධ්‍ය සංසදයේ උප සභාපති ධුරයට, කැපිටල් මහරාජා සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් පත්වෙයි..

by Staff writer 02-11-2026 | 8:02 PM

COLOMBO(News1st) -ලොව විශාලතම මාධ්‍ය සංසදය වන, ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ උප සභාපති ධුරයට කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් තේරී පත් විය.

එම සංවිධානයේ වසර 63ක ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයෙකු මෙම තනතුරට තේරී පත්වූ පළමු අවස්ථාව මෙයයි.

ලොව විශාලතම මාධ්‍ය සංසදය වන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට රටවල් 66ක සාමාජිකයින් ඇතුළත් ය.

එම රටවල ප්‍රමුඛ පෙළේ විද්‍යුත් විකාශන සහ මාධ්‍ය ආයතන 225ක් සංගමය නියෝජනය කරයි.

රූපවාහිනී, ගුවන්විදුලි සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ ආයතන රැසක් ඒ අතරට අයත් ය.

සංගමයේ නව සභාපති ලෙස තේරී පත් වුණේ  ජපානයේ NHK ආයතනයේ යමානා හිරෝ..

සංගමයේ උප සභාපති ධූරයට කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්ගේ නම යෝජනා කළේ ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම විකාශන ආයතනයක් වන ඔස්ට්‍රේලියානු විකාශන සංස්ථාව හෙවත් ABC Australia ආයතනයයි.

ජපානයේ ජාතික විකාශකයා වන NHK ආයතනය, එම යෝජනාව ස්ථිර කළේ ය.

අනතුරුව සභාව අමතමින්, නව උප සභාපතිවරයා සඳහන් කළේ මෙය මුළු ශ්‍රී ලංකාවටම වැදගත් අවස්ථාවක් බවයි.

ශෙවාන් ඩැනියල් - උප සභාපති
ආසියා ශාන්තිකර විද්‍යුත් විකාශකයින්ගේ සංගමය

මෙම වගකීම භාරගැනීමට ලැබීම පිළිබඳව මා තුළ ඇත්තේ මහත් නිහතමානී හැඟීමක් මෙන්ම ගැඹුරු කෘතඥතාවයක්.
මා මෙම තනතුර භාරගන්නේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස නොව, මා නියෝජනය කරන රට වෙනුවෙන් ලැබුණු ගෞරවයක් ලෙසයි. ශ්‍රී ලාංකිකයකු, ABU සංවිධානයේ උප සභාපති ධුරයට පත්වූ පළමු අවස්ථාව මෙයයි. එසේම, අතිරේක පූර්ණ සාමාජිකත්වයක් හිමි රටක නියෝජිතයකු උප සභාපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙයයි. එබැවින්, මා මෙය සලකන්නේ ශ්‍රී ලංකාවට හිමි වූ සුවිශේෂී අවස්ථාවක් සහ ගෞරවයක් ලෙසයි. මාගේ නාම යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව ABC Australia ආයතනයට මාගේ ස්තුතිය පිරිනමනවා. එම නාමයෝජනාවට සහාය දැක්වීම පිළිබඳව NHK ආයතනයට ද මාගේ ස්තුතිය පුද කරනවා. එසේම, මා කෙරෙහි විශ්වාසය තබා සහයෝගය දැක්වූ මාගේ සියලුම මිතුරන්ට සහ සහෝදර වෘත්තිකයන්ට ද හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.මෙම තනතුර හුදෙක් නාමික තනතුරක් බවට පත් නොකර, සක්‍රීයව කටයුතු කරන තනතුරක් බවට පත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම, මෙම උතුම් ආයතනයේ ඉදිරි ගමන වෙනුවෙන් මට හැකි උපරිමයෙන් දායක වීමටත් මා අදහස් කරනවා 



යමානා හිරෝ - නව සභාපති
ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය

මම ඉතාම අගය කරනවා මේ ලැබුණු අවස්ථාව ගැන. නිෂ්පාදකයෙකු ලෙස මෙන්ම ආයතනික අංශයේ මට ඇති පසුබිමෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින්... ඒ වගේම මගේ උපරිම ශක්තියෙන් සංගමයට සහයෝගය ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ශෙවාන් ඩැනියල් මේ වනවිට කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, එහි මාධ්‍ය මෙහෙයුම්වල ප්‍රධානත්වය ද දරයි.

දශක තුනකට ආසන්න කාලයක් පුරා විහිදුණු ඔහුගේ වෘත්තීය ජීවිතයට මාධ්‍යකරණය, විකාශන ක්ෂේත්‍රය, ආයතනික කළමනාකරණය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අත්දැකීම් ඇතුළත් ය.

ඔහු කලක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර NBC ප්‍රවෘත්ති ආයතනය සමගද කටයුතු කළේ ය.

ලෝක ප්‍රසිද්ධ, කීර්තිමත් ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් යටතේ පිරිනමනු ලබන අතිශය ගෞරවනීය සමාජිකත්වයක් වන අයිසන්හවර් ගෝලීය සාමාජිකයෙකු (Eisenhower Global Fellow) සහ අමෙරිකාවේ ෆුල්බ්‍රයිට් හම්ප්‍රි සාමාජිකයෙකු (Fulbright Humphrey Fellow) වන ශෙවාන් ඩැනියල් මීට පෙරද ජාත්‍යන්තර සංසද කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කර තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම ප්‍රජා මූලික මානුෂීය මෙහෙයුම වන 'ගම්මැද්ද' ඔහුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

ජාත්‍යන්තර විකාශන සහයෝගීතාව, තාක්ෂණික සංවර්ධනය, මාධ්‍ය ප්‍රමිතීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා ක්‍රියා කරන ලොව විශාලතම මාධ්‍ය සංසදය වන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ උප සභාපති ධූරයට ශ්‍රී ලාංකිකයෙකු පත්වීම,  රටට ජාත්‍යන්තර මට්ටමින් හිමි වූ සුවිශේෂී කීර්තියකි.

එය ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට හිමිවන නියෝජනය තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් බවද, සටහන් කළ යුතුමයි.