.webp)
 (1)-627168.jpg)
ආන්දෝලනාත්මක නඩුවක් වන මෙය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන්නේ වසර හතකට පමණ පසුවයි.
2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මෙම නඩුව අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ලියනගේ ප්රමුඛ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අධිකරණය තීරණය කළේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමටයි.
මෙම නඩුකරයට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව මෙහිදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල , නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාට නියම කළේ, ඊළග නඩු දිනයට පෙර විත්ති පාර්ශවය වෙත අවශ්‍ය කරන ලේඛන ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා 2027 ජනවාරි මස 28 වන දා කැඳවන ලෙස නියම කෙරුණි.
මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ, පී. ගුණවර්ධන යන නම් කර තිබේ.
