by Staff writer 13-10-2026 | 7:24 AM
COLOMBO(News1st) - මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 -150 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසුවේ අද(13) දිනයේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීම හමුවේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපෙක්ෂා කරන බවයි.
ඇද හැලෙන වර්ෂාපතනය හමුවේ නිල්වලා ගඟ අකුරැස්ස ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා කලමණකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර පැවසුවේ, අධික වැසි සමග ගිං, නිල්වලා , කළු සහ කැලණි ගංගා වල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 9 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කෑගල්ල , බදුල්ල , කොළඹ , මහනුවර , මාතලේ , නුවරඑළිය , රත්නපුර , මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ හා අවදානම් කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසුවේ, පසුගිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්වූ ප්‍රදේශවල ජනතාව ඉතා විමසිලිමත් විය යුතු බවයි.
අධික වර්ෂාවත් සමග ආපදා තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කර ඇතැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ප්‍රකාශ කළේ ය.